Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කවාජාගේ සංචාරය නිල සංචාරයක් නොවේ

කවාජාගේ සංචාරය නිල සංචාරයක් නොවේ

editorial - 2023 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උපසභාපතිවරයකු මෑතදී සිදුකළ මෙරට සංචාරය ක්‍රීඩා අමාත්‍යාංශය නිල සංචාරයක් ලෙස පිළිනොගන්නා බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය කලින් දැනුවත් නොකර ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමකට අනුව බවත්, දේශපාලන මැදිහත්වීම් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන තමා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උපසභාපති ඇතුළු දූත පිරිස ඉහළින් පිළිගෙන ඔවුන් සමග සාකච්ඡා කළ බවත් වැඩිදුරටත් පැවසුවේ රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද (7) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

 අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උපසභාපතිවරයෙකු වන ඉම්රාන් කවාජා මහතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අරඹයා පැන නැගී තිබෙන බව පැවසෙන දේශපාලන අතපෙවීම් පිළිබඳව කරුණු අධ්‍යනයක් සඳහා නොබෝදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

 ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා එහිදී මෙසේ ද පැවසීය.

‘ජාතික ක්‍රීඩා සංගම්වල හැමදාමත් තනතුරුවල ඇලී ඉන්න හදන දූෂිත නිලධාරීන් පිරිසක් දේශපාලන අතපෙවීම් ගැන මට චෝදනා කරනවා. මේ සිදුවීම් වැඩි ගණනක් මම ක්‍රීඩා ඇමැති ධුරයට එන්න කලින් ඇතිවුණු සිදුවීම්. නමුත් ඒවායේ විපාක විඳින්න වෙලා තිබෙන්නෙ මටයි. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විට ජාත්‍යන්තරයට කරුණු පැහැදිලි කිරීම් කරමින් ඉන්නවා. ඒවා දැන් සාර්ථක වෙමින් තිබෙනවා.

පළමු වතාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවේ තරග තහනම ගැන සංවේදීවෙමින් අපි යොමු කරපු ලිපිවලට මේ වන විට ප්‍රතිචාර දන්වලා තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන්න සූදානම් බව පළමු වතාවට දැනුම් දීලා තිබෙනවා. ඒ ගැන මට සතුටු වෙනවා.

ඒ අන්දමට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රග්බි තහනම ඉවත් කරවා ගන්නත් මම ඉක්මණින්ම අන්තර්ජාතික සම්මේලනයත් එක්ක සාකච්ඡාවකට යනවා. දැන් බලන්න ආසියානු රග්බි සම්මේලනය තහනම් කරපු ශ්‍රී ලංකාවේ රග්බි සභාපතිවරයා නඩු කිය කියා පුටුවේ ඇළී ඉන්න හදනවා.

 ආසියානු සංගමය තහනම් කරපු කෙනෙක් කොහොමද ශ්‍රී ලංකාවේ රග්බි පරිපාලනයේ මුල් පුටුවෙ ඉන්නේ. මේ ගැන ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු කරන්න හදනකොට  ක්‍රීඩා ඇමැතිවරයාට දේශපාලන මැදිහත්වීම් ගැන චෝදනා කරනවා. අද අපි ආසියාවේ රග්බි ක්‍රීඩාවේ අන්තිමයා. පුටුවල ඇළී ඉන්න හදන අය ක්‍රීඩාව දියුණු කළා කියනවා නම් එහෙම වෙන්නේ කොහොමද?

අපිට දේශපාලන බලපෑම් ගැන චෝදනා කරනවා තහනම් පනවනවා. ඒ ගැන අපි විමසීම් කළාම ඒකට ප්‍රතිචාරයක් දක්වන්න තරම්වත් ඇතැම් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් උනන්දු වෙලා නෑ. චෝදනා කරනවා නම් අපේ විමසීම්වලට උත්තරත් ලැබිය යුතුයි.


අදහස් (0)

කවාජාගේ සංචාරය නිල සංචාරයක් නොවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.