Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩකයාගේත් සොල්දාදුවාගේත් හදවත ගැහෙන හඬ

ක්‍රීඩකයාගේත් සොල්දාදුවාගේත් හදවත ගැහෙන හඬ

editorial - 2020 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
වෘත්තීය ක්‍රීඩකයෝ මෙන්ම වෘත්තීය සොල්දාදුවෝත් තරමක් වෙනස් ආකාරයේ පුද්ගල කොට්ඨාශයකි. ඔවුන්ගේ සිතිවිලි සහ ආකල්ප ලෝකයේ සෙසු වෘත්තිකයන්ට වඩා තරමක් වෙනස්ය.
 
ක්‍රීඩකයා තමන්ගේ වෘත්තිය සම්බන්ධයෙන් මහත් වින්දනයක් ලබයි. සොල්දාදුවා තමන්ගේ වෘත්තිය සම්බන්ධයෙන් මහත් වූ අභිමානයක් දරයි. මේ දෙදෙනාටම පොදු ලක්ෂණයක් තිබේ. එනම් මේ දෙදෙනාම පිටියට බසින්නේ (ක්‍රීඩා පිටියට හෝ යුද පිටියට) කිසිසේත්ම පරාජය නොවීමේ ඒකායන අභිලාශයෙන් වීමයි.
 
ක්‍රීඩකයාගේත් සොල්දාදුවාගේත් එකම අරමුණ ජයග්‍රහණය පමණි.

ලෝකයටම මහත් ව්‍යසනයක් වූ කොවිඩ් - 19 වසංගතයේදී ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔවුන් සතු ආකල්පය සමාජයට ඉතා වැදගත් පණිවුඩයකි.
 
70 දශකයේදී ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණතම කෙටිදුර ධාවන ශූරයකු වූ සුනිල් ගුණවර්ධන පසුකලෙක ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම මලල ක්‍රීඩා පුහුණුකරුවකුද විය. කොවිඩ් - 19 වසංගතයට තමන් මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සුනිල් ගුණවර්ධන මහතාගේ ආකල්පය මෙයයි.

“මම හිතන්නේ මේ සති දෙක තුන කොරෝනාව නිසා ශ්‍රී ලංකාවට ඉතාම තිරණාත්මකයි කියලා. ඒ නිසා මම කල්පනා කළා අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ට කතා කරන්න. “
 
“ආදරණීය තරුණ දුවේ පුතේ, අපේ රට පුංචිම පුංචි දූපතක්. මේ පුංචි දූපතේ කොල්ලො ටික මුලු ලොකෙටම ගහල ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝක ශූරයෝ වුණා. ඒ වගේමයි සුසන්තිකා ජයසිංහ රටවල් 202 ක් සහභාගි වුණ 2000 සිඩ්නි ඔලිම්පික් තරගයේ පදක්කම් දිනුවා.“
 
“චීනේ කෝටි 133 යි. ඉන්දියාවේ‍කෝටි 113 යි. ඒත් ආසියාවම පරාජය කරලා අපි දිනපු පදක්කම් වලදි අදත් නොබිඳි තියෙන වාර්තාවක් තියෙනවා ආසියාවේ. ඒ ඔක්කොම කළේ අපේ තරුණ පිරිස කියලා තමයි මම විශ්වාස කරන්නේ“
 
“යුද්ධෙදි හිටපු ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, හමුදාපතිවරු මේ අයට උපදෙස් දෙන්න ඇති. සැලසුම් හදන්න ඇති. උ‍දව් කරන්න ඇති. හැබැයි තීරණාත්මක බලවේගය වුණේ අපේ තරුණ සොල්දාදුවො.. ඔවුන් තමා යුද්දෙ දිනුවේ“
 
“ඒ වගේම පුහුණුකරුවො පුහුණු කෙරුවා. සංගම් තිබුණා. මව්පියෝ ආශිර්වාද කළා. නමුත් තරග දිනුවේ අපේ තරුණ තරුණියෝ. ඒ නිසා මම විශ්වාස කරන්නේ රටක් වෙනස් කරන්න, ඒ වගේම රටට කීර්තියක් ගේන්න, ඒ වගේම රටක් ඕනම උවදුරකින් බේරගන්න මූලික වෙන්න ඕන රටේ තරුණ තරුණියො කියලා.
 
“මම ඔලිම්පික් තරගයට ගිය, ආසියාතික රන් පදක්කම් දිනපු, මීටර් 100 අවුරුදු 25 ක් ශ්‍රී ලංකා වාර්තාව රඳවාගත්ත ක්‍රීඩකයෙක්. පස්සෙ කාලෙක මම ඔලිම්පික් ක්‍රීඩකයන් ගණනාවක් හැදුවා. ආසියාව දිනපු අදටත් පවතින වාර්තා පිහිටවපු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හැදුවා. ඒ නිසා මට ලෝකෙ වටේ යන්න පුළුවන් වුණා.“
 
“මං කියන්නේ මේ ලෝකෙ කිසිම රටක් නැහැ අපේ රටේ තරම් දයාව කරුණාව තියෙන මිනිස්සු ඉන්න රටක්. බලන්නකෝ දැන් මේ වෙලාවෙ අගමැතිතුමා, ජනාධිපතිතුමා ඇතුළු රජයත්, ත්‍රිවිධ හමුදාවත්, ඒ වගේම මේ සෞඛ්‍ය සේවයේ සියලු දෙනාත් එකතුවෙලා කරන කැපකිරීම.“
 
“මට මතකයි එක වෙලාවක් කොරියාවේ ඉදලා අපු අය රණ්ඩු වුණා හමුදාවෙ අයත් එක්ක. ඒ අය නීරෝධායන මධ්‍යස්ථාන වලට යන්න කැමති වුණේ නෑ. ඒ අය දැන් නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත් වෙලා යනකොට, සමහර අය කිව්වා අනේ අපිට මේ ස්ථානය දාලා යන්න දුකයි කියලා. ඒකට තමයි කියන්නේ මානව දයාව කියලා“
 
“හමුදාවෙ හිටියත්, රජයට ඕන වුණත්, එහෙම නැත්නම් සෞඛ්‍ය සංවිධාන මොන තරම් ඒවා කළත්, තරුණ පුතාලා - දුවලා උදව් කළේ නැත්නම් මේකෙන් බේරෙන්න අපිට බැහැ. එ් හින්දා මම පුතාලට කියන්නෙ පුතේ, ලේසියෙන් පුතාලට පුළුවන් පුතාලගෙ අම්මලා තාත්තලා බලාගන්න. ලේසියෙන් පුතාලට පුළුවන් පුතාලගෙ නංගිලා මල්ලිලාව ආරක්ෂා කරගන්න“
 
“මට මතකයි පුතාලා සති තුනක් ඇතුළත මේ රටේ තාප්ප වල චිත්‍ර ඇන්දා කොල්ලො කෙල්ලො ටික. තවත් සුමාන තුනක් මේකට උදව්‍වෙන්න. අපි ඔක්කොම එකතු වෙලා අපිට ලේසියෙන් මේක පරාජය කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් දූලා පුතාලටමයි“
 
මං පුතාලගෙන් ඉල්ලනවා එක ඉල්ලීමක්. හෙට උදේ ගේ ඉස්සරහ පිටට ඇවිල්ලා කෑගහලා මෙහෙම කියන්න
 
“මම මේ කොරෝනාව හදාගන්නෙත් නෑ, මගේ ගෙදර කාටවත් හදාගන්න දෙන්නෙත් නෑ”
මේක තමයි අපේ අද දවසේ අරමුණ වෙන්න ඕන. එතකොට අපට ඉක්මනින්ම මේ වංසගතයෙන් ගැලවිලා අපේ සාමාන්‍ය ජීවිත වලට එළඹෙන්න පුළුවන්

- 036

අදහස් (0)

ක්‍රීඩකයාගේත් සොල්දාදුවාගේත් හදවත ගැහෙන හඬ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.