Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා අතුරු කමිටු පත්කිරීමට කැබිනට් අනුමැතිය අනිවාර්යයි

ක්‍රීඩා අතුරු කමිටු පත්කිරීමට කැබිනට් අනුමැතිය අනිවාර්යයි

editorial - 2023 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවමින් අතුරු කමිටු පත් කරන්නේ නම් මින් ඉදිරියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බවට කැබිනට් මණ්ඩලයේ ලේකම් ඩබ්. එම්. ඩී. ප්‍රනාන්දු මහතාගේ අත්සනින් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් මහතාට ලිපියක් යොමු කර තිබේ.

කැබිනට් තීරණ යටතේ මෙම ලිපිය ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමුකර ඇත්තේ පෙරේදා (22) දිනයේදීය. එහිදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශයක් ද ඔහුට කැබිනට මණ්ඩලයේ ලේකම්වරයා විසින් යොමු කර තිබේ.

ජාතික ක්‍රීඩා සංගමයක් වෙනුවට තාවකාලික අතුරු කමිටුවක් පත් කරන්නේ නම් පළමුව ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාගැනීම, රජයේ නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම හා අතුරු කමිටුව පත් කෙරෙන ක්‍රීඩා ඉසව්වට අදාළ වන අන්තර් ජාතික සම්මේලනය දැනුවත් කිරීම එහිදී අවශ්‍යයෙන්ම කළ යුතු බව පෙරේදා කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා විසින් අමාත්‍ය මණ්ඩල කාර්යාලය ශිර්ෂ පාඨය යටතේ නිකුත් කළ ලිපියේ දැක්වේ.

මෙම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ රටට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දෙනතුරු මෙම නියමය ක්‍රියාත්මක විය යුතු බවයි.

කැබිනට් මණ්ඩලයේ නියමය පරිදි නිකුත් කළ මෙම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම්, රජයේ නීතිපති, අග්‍රාමාත්‍ය ලේකම්, මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට හා අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකර තිබේ.

කෙසේ වුවත් දැනට බලපැවැත්වෙන ජාතික ක්‍රීඩා පනතේ රෙගුලාසි මාලාවට අනුව ක්‍රීඩා ඇමැතිවරයාගේ අභිමතය පරිදි ජාතික ක්‍රීඩා සංගමයක් අත්හිටුවමින් අතුරු  කමිටුවක් හෙවත් ඒ වෙනුවට තාවකාලික පරිපාලන ඒකකයක් ස්ථාපිත කළ හැකිය.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාතික ක්‍රීඩා සංගම් ගණන 66කි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පත් කළේ පසුගිය නොවැම්බර් 5 වැනිදාය.

එතැන් සිට මෙරට ක්‍රිකට් පරිපාලනයේ පැන නැගුණු ගැටලුකාරි තත්ත්වයන් හා මෙරටට පැනවුණු අන්තර් ජාතික ක්‍රිකට් තහනම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම කැබිනට් තීරණය ගෙන තිබේ. කෙසේ වුවත් ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම මේ වනවිට අභියාචනාධිකරණය විසින් වාරණය කර තිබේ.


අදහස් (0)

ක්‍රීඩා අතුරු කමිටු පත්කිරීමට කැබිනට් අනුමැතිය අනිවාර්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.