Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ඇමැතිවරයාගේ රෙගුලාසි මාලාවක් අභියෝගයට ලක්වූයේ පළමු වතාවටයි

ක්‍රීඩා ඇමැතිවරයාගේ රෙගුලාසි මාලාවක් අභියෝගයට ලක්වූයේ පළමු වතාවටයි

editorial - 2023 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ක්‍රීඩා පනත 1973 දී රට තුළ බලාත්මක වීමෙන් පසුව එහි රෙගුලාසි මාලාවක් අධිකරණයේ අභියෝගයට ලක් වන්නේ පළමු වතාවට බව ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා පවසයි. වත්මන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් 14 වැනිදා ගැසට් කළ නව ක්‍රීඩා රෙගුලාසි මාලාවට අභියාචනාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් පැනවීම සම්බන්ධයෙන් කළ විමසුමකදී පණ්ඩුක කීර්තිනන්ද මහතා එසේ පැවසීය.

ක්‍රීඩා ඇමැතිවරුන් සිව් දෙනෙකු යටතේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති කීර්තිනන්ද මහතා ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කෙරුණු අවස්ථා කීපයකදී කෙටුම්පත් කිරීමට දායකවූවෙකි. මේ වනවිට හරීන් ප්‍රනාන්දු මහතා ඇමැති ධුරය දරන සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නීති උපදේශකවරයා ලෙස කීර්තිනන්ද මහතා කටයුතු කරයි.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමග කියවිය යුතු 41 වන වගන්තිය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මතභේදයට තුඩුදුන් නව ක්‍රීඩා රෙගුලාසි මාලාවක් පසුගිය දෙසැම්බර 14 වැනිදා ගැසට් කළේය. එතැන් සිට අමාත්‍යවරයා විධාන දුන්නේ ඊට අනුගතව ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ කැඳවිය යුතු බවයි.

ඒ අනුව යමින් පසුගිය ජනවාරි 14 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2022 – 23) කැඳවීය. එහිදී අමාත්‍යවරයාගේ නව රෙගුලාසිවලට අනුව පාපන්දු නිලවරණය පැවැත්වීමේදී පළමු වතාවට වයස 70ට වැඩි පුද්ගලයන්ට ඊට තරග වැදීම තහනම් කෙරුණි.

අමාත්‍යවරයාගේ නව රෙගුලාසිවලට අනුව ජාතික ක්‍රීඩා සංගමයක නිලයක් දැරීමට  නුසුදුසු යයි හැඟෙන ආකාරයේ නිර්දේශයක් විමර්ශනයකින් පසුව ඉදිරිපත් වීමත් නිලයකට නාමයෝජනා බාරදීමට නුසුදුසු කමක් වන බවට දන්වා තිබුණි. මෙම නියෝගය හමුවේ පාපන්දු නිලවරණයේදී සභාපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වූ ජස්වර් උමාර් මහතාගේ නාමයෝජනාව ඔහු ඡන්ද විමසුමට සහභාගීවීම සඳහා සභා ශාලාවට පැමිණ සිටියදී ප්‍රතික්ෂේප විය. ඔහු ඊට එරෙහිව මේ වනවිට අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අද අභියාචනාධිකරණයේ ආරම්භ වූ නඩුව ඇමැතිවරයාගේ නව රෙගුලාසි හමුවේ එතෙක් පැවැති ජාතික ක්‍රීඩා සංගම්හි නිලවරණවලට කිසිදු බලපෑමක් නොකෙරන බවයි. ඊට හේතුව එය එතෙක් බලාත්මක නීතිය හැටියට ක්‍රියාත්මකවීම නිසා බවත් ඔහු පැවසීය.

ඔහු මෙසේද පැවසීය.

1973 දී ක්‍රීඩා පනත ක්‍රියාත්මක වීම ආරම්භයෙන් පසුව ක්‍රීඩා ඇමැතිවරයකුගේ නියෝග මාලාවක් වාරණයට ලක් වෙච්ච පළමු අවස්ථාව මෙයයි. එය වත්මන් ක්‍රීඩා ඇමැතිවරාගේ ප්‍රතිරූපයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන සිදුවීමක්.

මේ රෙගුලාසි මාලාව ක්‍රියාත්මක කිරීමට පෙර රොෂාන් රණසිංහ ඇමැතිවරයා නියමාකාරයෙන් නීති උපදෙස් ලබා ගත්තාද කියන එක දැන් සිදුවෙමින් තිබෙන ක්‍රියාදාමයෙන් බරපතළ ලෙස ගැටළු මතු කරලා තිබෙනවා. විශේෂයෙන් රටට බලපාන රෙගුලාසියත් නීතියත් කෙටුම්පත් කරනකොට ප්‍රධාන වශයෙන් නීති අංශයේ පාර්ශව දෙකක් සම්බන්ධ කර ගත යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව කියන ප්‍රධාන පාර්ශව දෙකම මේවාට සම්බන්ධ විය යුතුයි.

බැලූ බැල්මටම ඇමැතිවරයා නව රෙගුලාසි සකස් කිරීමේදී ඔවුන් නොකසළකා හැරීමක් කරලා තිබෙන බවද උපකල්පනය කළ හැකියි.

ඇත්තටම මට ඇමැතිවරයා ගැන කනගාටුවක් තිබෙනවා. ඔහු නීති උපදේශකවරුන්ගෙන් ප්‍රමාණවත් ආකාරයේ උපදෙස් ලබා ගත්තාදැයි කියන ආකාරයේ ගැටළුවක් දැන් පැන නැගී තිබෙනවා.

මෙවැනි සිදුවීම්වලින් වෙන්නේ රටේ ක්‍රීඩාවේ සංවර්ධනයට හානි පැමිණීමයි.

දැන් අභියාචනාධිකරණයේ මෙම තීරණයත් එක්ක ඉදිරියේදී පැවැත්වීමට සූදානම් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ක්‍රීඩා පනතේ එතෙක් පැවැති රෙගුලාසිවලට අනුවම කරන්න වෙනවා. ඒ වගේම  ඇමැතිවරයාට මේ කටයුත්තේදී ලැබී තිබෙන්නේ වැරදි උපදෙස්ද කියලාත් අදහසක් මතු වෙනවා,

නව ක්‍රීඩා රෙගුලාසි මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබෙන විවේචනවලට පසුගිය දිනවල උත්සව සභාවලදී පිළිතුරු දෙමින් අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසුවේ කුමන කාරණයක් නිසාවත් නව රෙගුලාසි මාලාව ආපස්සට නොගන්නා බවත්, එසේ වන්නේ නම් සිදුවිය හැක්කේ තමා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම පමණක් බවත්ය.

අවුරුදු ගණන් තනතුරුවල රැඳෙමින් ක්‍රීඩාවෙන් හම්බ කරන්න පැමිණි පිරිසක් සිය ක්‍රියාදාමයට එරෙහි වී ඇතැයිද එහිදී ඔහු චෝදනා කර සිටියේය.

- (ඡායාරූපය - සන්ඩේ ටයිම්ස් අන්‍රග්‍රහයෙනි)


අදහස් (0)

ක්‍රීඩා ඇමැතිවරයාගේ රෙගුලාසි මාලාවක් අභියෝගයට ලක්වූයේ පළමු වතාවටයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.