Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා පනත සම්පාදනයට කමිටුවක්

ක්‍රීඩා පනත සම්පාදනයට කමිටුවක්

නාමල් පතිරගේ - 2020 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අලුත් ක්‍රීඩා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ මූලික සැලැසුම් සම්පාදනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ හා අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට යයි.  ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව රැස්වූ අවස්ථා කිහිපයකදීම එ සම්බන්ධයෙන් මූලික සැලැසුම් සාකච්ඡා කර තිබේ. වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය හිමි වුණු ජාතික ක්‍රීඩා සභාව සඳහා 15 දෙනකුගෙන් සමන්විත නව නිලධාරි මණ්ඩලයක් පත්වූයේ පසුගිය අගෝස්තු 15 වැනිදාය. මහේල ජයවර්ධන මහතා එහි සභාපති ධුරය දරන අතර කුමාර් සංගක්කාර, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් එහි සාමාජිකයෝ වෙති.

ක්‍රීඩා පනතක් අලුතින් ස්ථාපිත කිරීම පිළිබඳව ජාතික ක්‍රීඩා සභාව කළ සාකච්ඡා පිළිබඳ අදහස් දැක්වූ එහි සාමාජික රොහාන් ප්‍රනාන්දු මහතා ඒ සඳහා ශ්‍රී ලංකාවේ සියලු ජාතික ක්‍රීඩා සංගම් ඔස්සේ යෝජනා ලබාගනිමින් මූලික කෙටුම්පත සකස් කෙරෙනු ඇතැයි පැවැසීය.

ඩුබායි නුවරදී පැවැති අයි.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගත් මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ මහේල ජයවර්ධන මහතා මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර් සංගක්කාර මහතා ද වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවැති මෙම රැස්වීම් වාර සඳහා පෙනී සිටි බව ‘ලංකාදීප’ය කළ විමසුමකදී කමිටු සාමාජික ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවැසීය.

“ක්‍රීඩා පනත සංශෝධනය කිරීම අද හෙටම කෙරෙන දෙයක් වෙන්නේ නෑ. ක්‍රීඩා ඇමැතිවරයා උපදෙස් දීලා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් රටේ ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ පුළුල් තකිකාවතක් ඇති කරලා ඉදිරිපත් වන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සැලකිල්ලට අරගෙන රටේ ක්‍රීඩාවට හිතකර අලුත් ක්‍රීඩා පනතක් කෙටුම්පත් කරන ලෙසයි.
 සමහරවිට මේ කටයුත්ත අවසන් වෙන්න තව අවුරුදු දෙකක් වුණත් ගත වෙන්න පුළුවන්. ඒ නිසා නව ක්‍රීඩා පනතක් කඩිමුඩියේ ගෙන එන්න කිසිම ව්‍යායාමයක් ගන්නේ නෑ.” යැයි ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

පසුගිය අගෝස්තු 15 වැනිදා නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව  ක්‍රීඩා ඇමැති ධුරයට පත් නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියේ දැනට භාවිතයට ගැනෙන ක්‍රීඩා පනත යල්පැනගිය එකක් බැවින් අද යුගයට ගැළැපෙන අලුත් ක්‍රීඩා පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට තමා කටයුතු කරන බවයි. දැන් භාවිතයට ගන්නා ක්‍රීඩා පනත 1973 දී එවකට ක්‍රීඩා ඇමැති ධුරය දැරූ දිවංගත කේ.බී. රත්නායක මහතා විසින් ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත් එකකි.

එහෙත් පසු කාලීනව පත්වූ ක්‍රීඩා ඇමැතිවරුන් ගණනාවක්ම ඊට සංශෝධන හා අලුත් රෙගුලාසි ඇතුළත් කිරීමට ක්‍රියා කළහ.

මේ අතර ජාතික ක්‍රීඩා සභාවේදී සාකච්ඡා වී තිබෙන පරිදි උසස් දක්‍ෂතා හෙබි මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගනිමින් ඔවුන් සඳහා අනුග්‍රාහකයන් ඔස්සේ විශේෂ දීමනාවක් බැගින් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායන් සකස් කිරීමටත් තීරණය වී තිබේ.

 


අදහස් (0)

ක්‍රීඩා පනත සම්පාදනයට කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.