Last Update  :  2025-03-21 12:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා වැරදි ගැන පැමිණිලි 15 ක් තවමත් විමර්ශනයේ

ක්‍රීඩා වැරදි ගැන පැමිණිලි 15 ක් තවමත් විමර්ශනයේ

editorial - 2022 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට වසර දෙකක කාලයකදී  පැමිණිලි 47 ක් ලැබී තිබේ. ඉන් 15 ක විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතින බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පවසයි.

විමර්ශන අවසන් කර තිබෙන පැමිණිලි ගණනත් 15 කි. ඉන් හයක් නීතිපතිවරයාගේ මතය විමසීම සඳහා මේ වන විට යොමුකර තිබේ. මේ අතර තවත් පැමිණිලි 18 ක් විමර්ශනය කිරීම අතරමගදී අවසන් කර තිබේ. මෙසේ බහා තබා ඇති පැමිණිලි අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලෝක කුසලාන අවසන් මහ තරගය (20) පාවාදුන් බවට ශ්‍රී ලංකා කණ්ඩායමට නැගූ චෝදනාව සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනය ද වේ.

 2019 අංක 24 දරන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත ප්‍රකාරව වසර 2020 පෙබරවාරි 11 එහිදී පුළුල් බලතල සහිතව ස්ථාපිත කළ ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය ක්‍රීඩා අමාත්‍යාංශයට වගකියන ආයතනයකි. මේ දිනවල ප්‍රධාන වශයෙන් පැමිණිලි හතරක් කෙරෙහි අවධානය යොමු කරමින් විමර්ශන පවත්වාගෙන යන බව ජගත් ෆොන්සේකා මහතා පවසයි.

වසර 2021 දී ඔස්ලෝ නුවරදී පැවැති ලෝක මල්ලව පොර ශූරතා තරගාවලියට ගොස් සිටියදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරවරයා එරටදී අතුරුදන්වීමේ සිදුවීම, අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සිදුවී ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා චෝදනාව, ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ දූෂණ හා අක්‍රමිකතා සිදුවී ඇතැයි කියන චෝදනාව හා වසර 2016 ‘රියෝ’ ඔලිම්පික් උළෙලට සහභාගි වූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා හා ලේකම්වරයාට මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවට අද‌ාළ පැමිණිලි 4 ක් මෙසේ දැනට සිදුකරමින් තිබෙන විමර්ශන වෙයි.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධව ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවශ්‍ය අවස්ථාවලදී සම්බන්ධ කරගන්නා බවයි. අනෙකුත් ක්‍රීඩා ඉසව් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාගයේදී අවශ්‍යතාවය පරිදි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) ද හවුල්කර ගෙන එම විමර්ශනය සිදුකෙරෙන බවත් ජගත් ෆොන්සේකා මහතා පවසයි.

 විමර්ශන අත්හිටුවා බහා තබා ඇති පැමිණිලි 17 ක් බහුතරයක් නිර්නාමික පෙත්සම් බවට හඳුනාගෙන තිබේ. 2019 අංක 24 දරන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනතේ අංක 13 වගන්තියට අනුව විමර්ශනය සඳහා ඉදිරිපත් කරන චෝදනා මත අන්තර්ගතය සාවද්‍ය බවට හෝ දැන දැනට සත්‍ය නොවන ප්‍රකාශ සිදුකිරීමත් වරදක් ලෙස සැළකේ.  බොරු පැමිණිල්ලක් බව සනාථ වන එවැනි අවස්ථාවකදී චෝදනාලාභීන්ට නඩු පවරා අවුරුදු 3 ක් දක්වා බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයක් පැනවිය හැකිය.

මෙම පැමිණිලි අඩු කිරීමට නම් ජාතික ක්‍රීඩා සංගම්හි පාලනය හා මූල්‍ය ගනුදෙනු පාලන සඳහා ක්‍රමවත් වැඩසටහන් දියත් කිරීම, තේරීම් කමිටුවල ස්වාධීනත්වය තහවුරු කිරීම, ක්‍රීඩකයන් හා ඔවුන් සමග විදේශගත වන්නන් නියාමනය කිරීම කෙරෙහි වඩාත්ම අවධානය යොමු කළ යුතුව ඇතැයි ඔහු පෙන්වා දේ.
 
1979 අංක 15 දරන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනතින් ලැබී තිබෙන බලතල හැරෙන්නට 2019 අංක 24 දරන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත් 24 එහි වගන්තිය යටතේත් පුළුල් බලතල පැවරී ඇති මෙම ඒකකයට විමර්ශන සිදුකරන අවස්ථාවලදී වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම, බැංකු වාර්තා ලබා ගැනීම, දුරකථන වාර්තා ලබා ගැනීම සඳහා ද අදාළ පාර්ශ්ව වෙත නියෝග ලබාදීමේ හැකියාව ද සතුය.

මෙම පැමිණිලි ඒකකය විමර්ශනය කිරීමෙන් වග උත්තරකරුවන් වන අයට හෝ පාර්ශ්වයන් වෙත  ශ්‍රී ලංකා මහාධිකරණයේ නඩු පවරා උපරිම රුපියල් මිලියන 100 කට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු 10 ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමට හෝ එකවර එම දඩ මුදල හා බන්ධනාගාරගත කිරීම සිදුකළ හැකිය.

 


අදහස් (1)

ක්‍රීඩා වැරදි ගැන පැමිණිලි 15 ක් තවමත් විමර්ශනයේ
  • S.M.R.R.S.Subasinghe Tuesday, 03 September 2024 09:11 AM

    මට ක්‍රීඩා පැමිනිලි අංශයේ නම්බර් එකක් අවශ්‍යවී තිබේ

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.