Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය දෙවැනි වරටත් සංවිධානය කරන 'ගාඩියන්ස්' සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ විවෘත ස්කොෂ් තරගාවලිය, කොරෝනා වසංගත තත්ත්වය උග්‍ර වීම හමුවේ දෙවැනි වරටත් කල් දැමීමට සිදුව ඇතැයි එම සංගමයේ ලේකම් එරන්ද ගීගනගේ මහතා 'ලංකාදීප'යට පැවසීය.
ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ගේ අනුග්‍රහය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන හෙයින් ඊට 'ගාඩියන්ස්' යන නම යොදා තිබේ.
මැයි මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පැනවීමත් සමග පළමු වරට කල් දැමිණ. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අගෝස්තු මස 21 වැනිදා සිට 28 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබුණද, වසංගත තත්ත්වය යළිත් වරක් ඉහළ යෑම නිසා මේ වන විට එය දෙවැනි වරටත් කල් දැමීමට සිදුව තිබේ.
මෙම තරගාවලිය කනිෂ්ඨ, විවෘත සහ ජ්‍යෙෂ්ඨ ලෙස අංශ තුනකින් සමන්විතය. අවුරුදු 9 සිට 19 දක්වා වයස් කාණ්ඩ 6 ක් යටතේද, අවුරුදු 35 සිට 50 දක්වා වයස් කාණ්ඩ 5 ක් යටතේද තරග පැවැත්වීමට නියමිතව තිබිණ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්කොෂ් සංගමයේ ලේකම්වරයා කියා සිටියේ ප්‍රේක්ෂකයන් නොමැතිව නියමිත සෞඛ්‍ය විධි විධාන වලට අනුව තරගාවලිය පැවැත්වීමට සුදානම් කර තිබුණද, බලාපොරොත්තු නොවූ අයුරින් නැවතත් එය කල් දැමීමට සිදුවූ බවය.
මෙම තරගාවලියෙන් අනතුරුව අගෝස්තු මස අවසන් දිනවල සහ සැප්තැම්බර් මස මුල් දිනවලදී ජාතික කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියද පැවැත්වීමට නියමිතව තිබිණ. කෙසේ වුවත් පවතින තත්ත්වය මත බොහෝ දුරට එම තරගාවලියද දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවනු ඇතැයිද එරන්ද ගීගනගේ මහතා පැවසීය.
"ජාතික කනිෂ්ඨ තරගාවලියත් මේ මාසෙ අන්තිම තමා පවත්වන්න සූදානම් කරලා තිබුණේ. ඒත් දැන් ඒකත් කල් දාන්න වේවි. හැබැයි ජාතික ස්කොෂ් තරගාවලිය පවත්වන්න තියෙන්නෙ දෙසැම්බර් මාසෙ. ඒකට තව මාස තුනක් විතර කල් තියෙන නිසා ගැටලුවක් නැතුව ඒක පවත්වන්න පුලුවන් වේයි කියලා අපි හිතනවා" යැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.