Last Update  :  2025-03-31 13:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදා පාපැදි සවාරිය සිකුරාදා සිට

ගුවන් හමුදා පාපැදි සවාරිය සිකුරාදා සිට

editorial - 2025 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ගුවන් හමුදා පාපැදි සවාරියේ තෙදින පාපැදි තරග මාලාව සිකුරාදා (28) පෙරවරු 8.30 ට වීරවිල ගුවන් හමුදා  කඳවුර අසළින් ආරම්භ වේ.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරය වෙනුවෙන් මෙවර 26 වැනි වරටත් සූදානම් කෙරෙන ගුවන් හමුදා (රේසිං) පාපැදි සවාරිය කිලෝමීටර 414 ක දුරක් ගෙවා ඉරිදා (2) පස්වරුවේදී කොළඹ ගාලුමුවදොර පිටිය අසළට ළගාවීමෙන් නිමාවට පත්වේ.

ඊට සමගාමිව පැවැත්වෙන එහි කාන්තා ඉසව්ව ඉරිදා (2) පෙරවරු 7. 30 ට මීරිගම සිට කොළඹ ගාලුමුවදොර පිටියට කිලෝමීටර 89 ක් ගෙවා ළඟාවීමෙන් අවසන් වේ.එහිදී පිරිමි ඉසව්ව සදහා ධාවකයන් 200 කට ආසන්න පිරිසක් හා කාන්තා ඉසව්වට ක්‍රීඩිකාවන් 24  දෙනකු පමණද සහභාගිවීමට නියමිතය.

මෙවර තරග ජයග්‍රාහකයන් හා ජයග්‍රාහිකාවන්ට රුපියල් ලක්ෂ 23 ක තෑගි මුදල් ප්‍රදානය කෙරේ.ඒ හැරෙන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා නිලධාරීන්ගේ දීමනා ගෙවීම් සදහා රුපියල් ලක්ෂ 18 ක මුදලක් වැය කෙරේ.වේගවත්ම ( ස්ප්‍රින්ට්) ක්‍රීඩකයා, කදු තරණය කිරීමේ ශූරයා හා වයස 23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයාද එහිදී තෝරා ගැනේ.

මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි ඉසව්වේ ශූරයාට රුපියල් ලක්ෂ පහක්ද කාන්තා ඉසව්වේ ශූරියට රුපියල් 125000 ක්ද ප්‍රදානය කෙරේ.එහිදී පිරිමි ඉසව්වේ 25 වැනි ස්ථානය තෙක්ද කාන්තා ඉසව්වේ 10 වැනි ස්ථානය තෙක්ද මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ක්‍රියාත්මක නොවන අවස්ථාවකදී මෙවර පාපැදි සවාරිය සංවිධානය කෙරේ.ඒ හේතුවෙන් එහි අධීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ පාපැදි නිසි බලධාරියා ලෙස කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු  මහතාය.

ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමය මෙවර සවාරියේ විනිශ්චය හා තීරක කටයුතු මෙහෙයවයි.එහිදී ප්‍රධාන විනිසුරු ලෙස උපුල් චන්දන ප්‍රියනාත් මහතාත් ප්‍රධාන තාක්ෂණික උපදේශක ලෙස ජාත්‍යන්තර පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාත් කටයුතු කරති.

මෙවර 26 වැනි වරටත් ගුවන් හමුදා පාපැදි සවාරිය සංවිධානය කිරීමේදී උපුල් චන්දන ප්‍රියනාත් මහතා ඉන් සවාරි 22 කදීම විනිසුරු මඩුල්ලේ කටයුතු කළ අයෙකි.ඉන් වැඩි ගණනකදීම ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කර ඇත.

ගියවර සවාරියේ විනිශ්චය කටයුතුවලින් ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමය ඉවත් කළ අතර ඒ වෙනුවට එම කටයුතු කළේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයෙන් නිර්දේශ කළ විනිසුරු හා තීරක මඩුල්ලක් විසිනි.මෙම සිදුවීමට හේතුවූයේ එකළ පාපැදි සම්මේලනයේ පැන නැගී තිබූ පරිපාලන ආරවුල් ය.

මෙවර සවාරියේ ගමන් මග කදු පල්ලම් හා තැනිතලා යන සියලු ලක්ෂණයන්ගෙන් සමන්විත මාර්ගයක් ඔස්සේ විහිදී තිබීමෙන් ධාවකයන්ට සිය වේගයට ළගාවීම වඩාත්ම අභියෝගයක් වනු ඇත.

ගියවර (2024) අදියර පහකින් කිලෝමීටර් 654 ක් දක්වා ඇදුණු  සවාරියේ සමස්ත තරගයේ ජයග්‍රාහකයා වූයේ යුද හමුදා ක්‍රීඩක පැතුම් සම්පත් වීරසිංහය. නාවික හමුදා ක්‍රීඩිකා ඈන් ෂෙනාලි කාන්තා ඉසව්ව ජය ගත්තාය.

 

26 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ ගමන් මග (ලුහුඬින්)

• පෙබරවාරි 28 (පළමු අදියර - වීරවිල සිට රත්නපුරය දක්වා - කිලෝමීටර් 140.5)

ගමන් මග : -  වීරවිල ගුවන් හමුදා කදවුර අසළ සිට මාතර - නෝනගම - හුංගම - ඇඹිළිපිටිය - උඩවලව හංදිය - කහවත්ත - පැල්මඩුල්ල -  තැන්නවත්ත හරහා රත්නපුරය සබරගමුව පළාත් ක්‍රීඩා සංකීර්ණය අසළින් නිමාව

 

• මාර්තු 1 (දෙවැනි අදියර - රත්නපුරය සිට මහනුවර දක්වා - කිලෝමීටර 118.3)

ගමන් මග : - සබරගමුව ක්‍රීඩා සංකීර්ණය අසළින් කුරුවිට - ඇහැලියගොඩ - අවිස්සාවේල්ල  - රුවන්වැල්ල - කොටියාකුඹුර - ගලිගමුව - නෙළුම්දෙණිය - කෑගල්ල - මාවනැල්ල - කඩුගන්නාව - පිළිමතලාව, පේරාදෙණිය හරහා ගන්නෝරුව පැළෑටි සංරක්ෂණ සේවා කාලය ඉදිරිපිටින්  නිමාව.

 

• මාර්තු 2 (තෙවැනි අවසන් අදියර - මහනුවර සිට කොළඹ දක්වා - කිලෝමීටර 155.2)

ගමන් මග  :- ගන්නෝරුව පැළෑටි සංරක්ෂණ සේවා කාලය අසළින් ගැටඹේ - කටුගස්තොට - වැරැල්ලගම - මාවතගම - මල්කඩුවාව - නාරම්මල - පන්නල - සදලංකාව - කොච්චිකඩේ - කටුනායක - වත්තල - පෑලියගොඩ - මරදාන - ටී. බී. ඡායා මාවත, ගාලු පාර හරහා ගාලුමුවදොර පිටිය අසළට

 

• කාන්තා ඉසව්ව (මීරිගම සිට කොළඹ දක්වා - කිලෝමීටර 89)

ගමන් මග : - මීරිගම නගරයේ සිට ගිරිඋල්ල - පන්නල - මාකදුර - දංකොටුව - පෙරියමුල්ල - කටුනායක -  වත්තල  - මරදාන - ටී.බී. ඡායා මාවත - ගාලු පාර හරහා ගාලුමුවදොර පිටිය අසළට


අදහස් (0)

ගුවන් හමුදා පාපැදි සවාරිය සිකුරාදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.