Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය ජූලි මාසයේදී

ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය ජූලි මාසයේදී

නාමල් පතිරගේ - 2020 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවය (2019) ආරාධිතයන් 500 කට සීමා කරමින් ලබන ජූලි මාසයේදී කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සැළසුම් කර ඇතැයි එහි මෙහෙයුම් ප්‍රධානී සමන් අමරසිංහ මහතා පවසයි. මෙම සම්මාන උත්සවය සඳහා දිනයක් තහවුරු කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගේ අනුමැතියෙන් සිදු කෙරෙන බවත් දුරස්ථභාවය හා සෞඛ්‍ය නිර්නායකයන්ට යටත්ව මෙවර සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ආරාධිතයන්ගේ කැඳවීම සීමා කිරීමට තිරණය කළ බවත් ‘‘ලංකාදීප’’ ය කළ විමසුමකදී ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය අප්‍රේල් 6 වැනිදා බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් රට තුළ උද්ගත වූ ‘‘කොරෝනා’’ වසංගත තත්ත්වය හමුවේ එය කල් දැමීමට උළෙල සංවිධායකයන්ට සිදු විය.

ක්‍රීඩා අමාත්‍යාංශය සිව්වැනි වරටත් සංවිධානය කරන ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය සඳහා වෙනත් වසරවලදී ආරාධිතයෝ 1200 දෙනෙකු පමන සහභාගි වූහ. කෙසේ වුවත් සම්මානලාභීන් ඇතුළුව ආරාධිතයන් උපරිම 500 දෙනෙකුට සීමා කරමින් මෙවර සම්මාන උළෙල පැවැත්වුනෙත් එය වැඩි දෙනෙකුට බලාගැනීම සඳහා එහි සජීවි රූපවාහිනී විකාශයක්  කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙන බවත් සමන් අමරසිංහ මහතා පවසයි.

‘‘මෙවර සම්මාන උළෙල අවලංගු කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබුණත් රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ යහපත වෙනුවෙන් එය මේ වසරේදීත් පැවැත්විය යුතු බවට ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා වගේම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාත් දැඩි අදිටනක පසුවුණා. ඒ නිසා කුමන ගැටළු මැද වුවත් ක්‍රීඩා සම්මාන ප්‍රද‌ානෝත්සවය මේ වසරට පවත්වා අවසන් කරන්න අප තීරණයක් ගත්තා.“ යයිද ඔහු පැවසීය.

මේ වසරේ ජූලි 1 වැනිදා සිට මෙම වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ නැගී එන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සඳහා ජංගම දුරකථන ඔස්සේ මනාප (කෙටි පණිවුඩ) බාර ගැනීම සිදු කෙරේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, පරිපාලන නිලධාරින් ඇතුළුව හිටපු ක්‍රීඩා ප්‍රවිනයන් සඳහා සම්මාන 45 ක් එහිදී ප්‍රදානය කෙරේ. මෙවර උත්සවයේ විශේෂාංග ද සීමා කර තිබෙන අතර ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා තරුණ සේවා සභාව පමණක් යොද‌ා ගනිමින් එම විශේෂාංග ඉදිරිපත් කෙරේ.

මේ අතර වසරේ කුසලතා පූර්ණ ජාතික ක්‍රීඩා සංගම් - සම්මේලන ඇගයීමේ සම්මානය සඳහා පසුගිය වසර තුනේදීම සුදුස්සන් නිර්දේශ නොවුවත් මෙවර එම සම්මානය ලැබීමට ජාතික ක්‍රීඩා සංගම් තුනක් නිර්දේශ වී තිබීම විශේෂ සිදුවීමකි.

එම සම්මාන නිර්දේෂ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේදී ඉදිරිපත් වූ අභියාචනා හයක්ද විමර්ශනය කිරීමට උළෙල සංවිධායකයන් පියවර ගෙන තිබේ.


අදහස් (0)

ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය ජූලි මාසයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.