Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික - විශ්වවිද්‍යාල කබඩි තරගාවලි හෙට - අනින්දා

ජාතික - විශ්වවිද්‍යාල කබඩි තරගාවලි හෙට - අනින්දා

editorial - 2023 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික කබඩි ශූරතා තරගාවලිය හා අන්තර් විශ්වවිද්‍යාල ජාතික කබඩි තරගාවලිය හෙට (24) කුරුණෑගල ‘හෙට්ටිපොල’ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙ තරගාවලි දෙකම අනිද්දා දිනයේදීත් (25) පැවැත්වීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය කටයුතු යොදා තිබේ.

ජාතික කබඩි ශූරතා තරගාවලියට කාන්තා හා පිරිමි කණ්ඩායම් 44 ක් සහභාගි වෙති. අන්තර් විශ්වවිද්‍යාල තරගාවලිය සඳහා කණ්ඩායම් 12 ක් හෙට්ටිපොලට පැමිණෙති.

ජාතික කබඩි ශූරතා තරග මාලාව දිස්ත්‍රික් කණ්ඩායම් සහභාගිත්වයෙන් පැවැත්වීමට ගත් තීරණය මෙම තරගාවලියේ මෑත කාලයේදී වූ විශාලතම වෙනස්කමකි. මෙම තීරණයට එකඟ නොවූ ත්‍රිවිධ හමුදා කබඩි ක්‍රීඩා සමාජ තවදුරටත් ජාතික තරගාවලියට සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් නොකිරීම කැපී පෙනේ.

මෙම තත්වය සැළකිල්ලට ගෙන කබඩි සම්මේලනය මේ වන විට යුද, ගුවන් හා නාවික යන හමුදා ක්‍රීඩා සමාජ තුනටම තහනමක් පනවා තිබේ. එසේ වුවත් එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිස්ත්‍රික් කණ්ඩායම්වලට එක්ව තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිව තිබෙන බව කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පවසයි.

රුපියල් මිලියන හතකට වැඩි වියදමක් කබඩි සම්මේලනය හා සුබ පතන්නන්ගේ මූල්‍ය ආධාරයෙන් හෙට්ටිපොල ජාතික කබඩි ශූරතා තරගමාලාවට දරයි.

ජාතික කබඩි ශූරතා තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් දෙකට රුපියල් ලක්ෂයක් බැගින්ද අනුශූරතා, තෙවැනි ස්ථාන හා සිව්වැනි ස්ථාන ලබන කණ්ඩායම් සඳහා රුපියල් 75,000 ක්,  50,000 ක් සහ 20,000 ක් බැගින්ද තිළිණ කෙරේ. 

දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට රුපියල් 15,000 ක් බැගින්ද පිරිනැමේ. 

ජාතික තරගාවලියට සහභාගි වන සිය කණ්ඩායම් සඳහා දිරිගැන්වීමේ දීමනාවක් බැගින් ද ප්‍රදානය කෙරෙන අතර අන්තර් විශ්වවිද්‍යාල ජාතික තරගාවලි ඇතුළු ජාතික තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සහතික පත්‍ර, පදක්කම් හා කුසලාන ප්‍රදානය කිරීමටත් කටයුතු යොදා ඇතැයි කබඩි සම්මේලනය පවසයි.

පසුගිය වසරේ තරගාවලියේදී අම්පාර කණ්ඩායම පිරිමි ශූරතාවත් යාපනය කණ්ඩායම කාන්තා ශූරතාවත් හිමිකරගෙන තිබේ.  හෙට පස්වරු 4.00 ට පැවැත්වෙන ජය සංඛේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා සහභාගි වෙයි. 


අදහස් (0)

ජාතික - විශ්වවිද්‍යාල කබඩි තරගාවලි හෙට - අනින්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.