Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 1 වැනිදා සිට

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 1 වැනිදා සිට

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී, වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ්යේදී සහ ඔටර්ස් ක්‍රීඩා සමාජ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ්යේදී පැවැත්වීමට නියමිතය. 
 
මෙවර තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 ට අමතරව අවුරුදු 11 න් පහළ, අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කනිෂ්ඨ තරගකරුවන් සඳහාද තරග පැවැත්වේ. 

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ, 65 න් ඉහළ 70 න් ඉහළ වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගල තරග පැවැත්වෙනු ඇත. විවෘත පිරිමි සහ කාන්තා අංශවල අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පළඟ ශූරතා වෙනුවෙන් තරග පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු සූදානම් කර තිබේ. 

දෙසැම්බර් 1 වැනිදා සිට 6 වැනිදා දක්වා මූලික වටයේ තරග පැවැත්වෙන අතර අවසන් 16 දෙනාගේ තරග වටය සහ අර්ධ අවසන් පූර්ව තරග වටය දෙසැම්බර් මස 7 වැනිදා පැවැත්වේ. එදිනම අවසන් පූර්ව වටයේ තරග සහ තෝරාගත් අවසන් මහ තරග කිහිපයක්ද පැවැත්වෙනු ඇත. තවත් අවසන් මහ තරග කිහිපයක් සහ විවෘත අංශයේ අවසන් මහ තරග දෙසැම්බර් 8 වැනිදා පැවැත්වීමෙන් පසු එදින පස්වරුවේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ සමාප්ති උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

මෙවර ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ සමස්ත ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ රුපියල් මිලියන 2 ක මුදල් ත්‍යාග පිරි නැමීමට සංවිධායකයන් සූදානමින් සිටින අතර ඉන් 60% ක මුදල් ප්‍රමාණයක් විවෘත අංශයේ තරග ඉසව්වල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා වෙන් කර තිබේ. 

කනිෂ්ඨ තරග අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර ඊට අමතරව සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට, අනු ශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට කටයුතු යොදා ඇත. 

ඉකුත් වසරේ (2023) පැවැති 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනා ගනිමින් ජාතික බැඩ්මින්ටන් ශූරයා බවට පත්වීමට බුවනෙක ගුණතිලක සමත් වූ අතර විරේන් නෙත්තසිංහ සමග එක්ව පිරිමි විවෘත යුගල ශූරතාවද, නටාෂා ගුණසේකර සමඟ එක්ව විවෘත මිශ්‍ර යුගල ශුරතාවද දිනා ගනිමින් ශූරතා ත්‍රිත්වයකට හිමිකම් කීමටද ඔහු සමත් විය. 

පසුගියදා බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවල ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් රනිත්මා ලියනගේ ඉකුත් වසරේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගනිමින් ජාතික බැඩ්මින්ටන් ශූරිය බවට පත් වූවාය. ඉන් නොනැවතුණු ඇය වයස අවුරුදු 19 න් පහළ බාලිකා කේවල ශුරතාව දිනා ගැනීමටද සමත් වූවාය. එවර කාන්තා විවෘත යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ ජනනුවනි අමන්දා සහ හසාරා විජේරත්න විසිනි. 

 


අදහස් (0)

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය 1 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.