Last Update  :  2025-03-31 15:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තත්පර හයේ වාසිය චමෝද්ට

තත්පර හයේ වාසිය චමෝද්ට

editorial - 2025 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කිලෝමීටර 414 ක දුරක් පැය 9 විනාඩි 13 තත්පර 52 ක කාලයකින් ගෙවා අවසන් කළ පොලිස් ක්‍රීඩක ෂෙහාල් චමෝද්  සිල්වා පෙරේදා (2) කොළඹ ගාලුමුවදොර පිටියෙන් නිමාවට පත්වූ 26 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ  සමස්ත ජයග්‍රාහකයා බවට පත් විය.

දින තුනක් පුරා අදියර තුනකින් ගමන් ගත් මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය ඊයේ කොළඹින් නිමාවට පත් වන විට එහි ජයග්‍රාහකයා බවට පත්ව සිටි ෂෙහාල් චමෝද් එහි දෙවැනි ස්ථානය ලද යුද හමුදා ක්‍රීඩක සදරුවන් පින්තූට වඩා තත්පර හයක පමණක් වාසිය ලබා ගනිමින් මෙවර සමස්ත ජයග්‍රහණය හිමි කර ගැනීම කැපී පෙණුනි.

මේ අතර මීරිගම නගරයෙන් ගමන් අරඹා ගිරිඋල්ල, දංකොටුව, කටුනායක, කොළඹ හරහා කිලෝමීටර 89.3ක් ගෙවා  පැමිණ ඊයේ පස්වරුවේ ගාලුමුවදොර පිටියෙන් අවසන් වූ මෙවර සවාරියේ කාන්තා ඉසව්වේ ජය අත්වූයේ ගුවන් හමුදා ක්‍රීඩිකා දිනේෂා දිල්රුක්ෂිටය. පළපුරුදු මෙම ක්‍රීඩිකාව තරගකාරියන් 24 දෙනකු අභිබවමින් ඒ සදහා හිමි රුපියල් 125000 ක මුදල හිමි කර ගත්තාය.

කාන්තා ඉසව්ව මෙවර ජයගත් දිනේෂා දිල්රුක්ෂි ගිය වර (2024) තරගයේ දෙවැනි ස්ථානයට පත් ක්‍රීඩිකාවයි.එවර තරගය ජය ගත් ඈන් ෂෙනාලි පෙරේරා මෙවර සිව් වැනි ස්ථානය තෙක් පසු බැස්සාය.

මෙවර සවාරිය නිමා කරමින් ඊයේ ගන්නෝරුවෙන් ආරම්භ කරමින් කිලෝමීටර155.2 ක් ගෙවා කොළඹ ගාලුමුවදොර පිටියෙන් අවසන් වූ තෙවැනි (අවසන්) අදියර තරගයේ ජය අත්වූයේ යුද හමුදා ක්‍රීඩක සාරංග පෙරේරාටය.ඒ කුරුණෑගල,දඹදෙණිය, දංකොටුව, කටුනායක,කොළඹ හරහා පැය 3 විනාඩි18 තත්පර 48 ක කාලයකට සිය ධාවනය අවසන් කරමිනි.

මෙවර තරගයේදී ඔහු කැපී පෙණුනුම ධාවකයකු වූයේ කදු තරණයේ ශූරයාට හිමි රතු බිංදු කමිසයත් හා වේගවත්ම ධාවනය වාර්තා කළ ක්‍රීඩකයාට හිමි (ස්ප්‍රින්ට්) කොළ කමිසයත් ඔහු විසින්ම දිනා ගැනීමයි.

මෙවර සමස්ත සවාරිය ජය ගනිමින් රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයක් දිනූ චමෝද් පෙරේදා (1) රත්නපුරය සිට ගන්නෝරුව දක්වා පැවැති (කිලෝමීටර 118.3) දෙවැනි අදියර තරගය ජය ගනිමින් අත් කර ගත් තියුණු වාසිය ඔහුගේ මෙවර ජයග්‍රහණයට තීරණාත්මක බලපෑම කළේය.

මෙවර සවාරිය ආරම්භ කරමින් සිකුරාදා (28) වීරවිල සිට රත්නපුරය දක්වා (කිලෝමීටර140.5) පැවැති පළමු අදියර තරගයේදී චමෝද් දෙවැනි ස්ථානයත් ඊයේ තෙවැනි (අවසන්) අදියර තරගයේදී අට වැනි ස්ථානයත් අත්කර ගනිමින් මෙවර ඔහු සමස්ත ජයග්‍රහණය වාර්තා කර සිටියේය.

මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියට තරගකරුවන් 156 දෙනකු සහභාගි වූ අතර ඉන් 85 දෙනකු පමණක් ඊයේ පස්වරුවේදී ගාලු මුවදොර පිටියට ළගාවෙමින් සමස්ත තරගය අවසන් කළ බව ප්‍රධාන විනිසුරු උපුල් චන්දන ප්‍රියනාත් මහතා පැවසීය.

ගිය වර සවාරියේ සමස්ත ශූරයා වූ යුද හමුදා ක්‍රීඩක පැතුම් සම්පත් වීරසිංහ මෙවර  හිමි කර ගත්තේ අට වැනි ස්ථානයයි.

26 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ 10 වැනි ස්ථානය දක්වා  ප්‍රතිඵල : -1ෂෙහාල් චමෝද් සිල්වා (පොලිස් - පැය 9 විනාඩි 13 තත්පර 52), 2 සදරුවන් පින්තූ (යුද හමුදාව -9.13.58), 3 හරිදු මීමනගේ (යුද හමුදාව -9.15.21), 4සාරංග පෙරේරා (යුද හමුදාව - 9.15.21), 5 ඒ.කේ.ආර්. ප්‍රනාන්දු (නාවික හමුදාව - 9.15.24), 6 ළහිරු මධුශංඛ (ගුවන් හමුදාව - 9.15.24), 7පී.පී.එම්.ජී.සිල්වා (නාවික හමුදාව - 9.15.45), 8 සම්පත් වීරසිංහ (9.15.52), 9 තුෂාන් රාජපක්ෂ ( යුද හමුදාව - 9.16.16), 10 නිරෝෂන් කුමාරසිංහ (දෙහිවල - ගල්කිස්ස -9. 16.44)

 

කාන්තා ඉසව්වේ පස් වැනි ස්ථානය දක්වා  තරග ප්‍රතිඵල ( මීරිගම සිට කොළඹ දක්වා කිලෝමීටර 89)

1දිනේෂා දිල්රුක්ෂි (ගුවන් හමුදාව -පැය 2 විනාඩි 37. 53), 2 පංචලී සුලෝචනා (ගුවන් හමුදාව - 2.37.57), 3සුදාරිකා ප්‍රියදර්ශනී ( ගුවන් හමුදාව - 2.37.57), 4 කේ.එස්.ඒ.එන්.පෙරේරා (නාවික හමුදාව - 2.37.57), 5 ඩබ්.ඒ.ඒ.සදමිණී (නාවික හමුදාව - 2.37.57).

 


අදහස් (0)

තත්පර හයේ වාසිය චමෝද්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.