Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිවිධ හමුදා කබඩි ප්‍රධානීන්ට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්ගෙන් අවවාද

ත්‍රිවිධ හමුදා කබඩි ප්‍රධානීන්ට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්ගෙන් අවවාද

editorial - 2022 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික කබඩි කාන්තා හා පිරිමි සංචිතවලින් අවසරයකින් තොරව සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත්කර ගැනීමට කටයුතු කිරීම ගැන අවවාද කරමින් යුද හමුදා, ගුවන් හමුදා හා නාවික හමුදා යන කබඩි ක්‍රීඩා සමාජ ප්‍රධානීන්ට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ලිපි නිකුත් කර තිබේ.

ජාතික ක්‍රීඩා සංචිත හා ඒවායෙහි ගත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් පූර්ණ වගකීම් පැවරෙන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට බවත් එබැවින් අත්තනෝමතිකව ජාතික ක්‍රීඩා සංචිතවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනත් කිසිදු පාර්ශවයකට උවමනාවක් මත ඉවත් කර ගැනීමට නොහැකි බවත් එම අවවාදාත්මක ලිපි මගින් ත්‍රිවිධ හමුදා කබඩි ක්‍රීඩා සමාජ ප්‍රධනීන් වෙත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිහිපත්කර තිබේ.

එසේ ජාතික ක්‍රීඩා පුහුණු සංචිතවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත් කර ගැනීමට කටයුතු කරන කවර පාර්ශවයක් වුවත් ඔවුන් ඒ සඳහා විධිමත් ලෙස සිය අනුමැතිය ලබා ගත යුතු බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් එමගින් දැනුම්දී තිබේ.

මෙම සිදුවීමේ මුල් කතා පුවත වන්නේ පසුගිය ජනවාරි 7 වැනිදා ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනය ජාතික කබඩි ශූරතා තරගාවලිය එතෙක් පැවති ක්‍රමවේදයෙන් බැහැරව දිස්ත්‍රික් කණ්ඩායම් පදනම් කර ගනිමින් පැවැත්වීමට විරෝධය පළ කරමින් යුද, ගුවන් හා නාවික හමුදාවලට අයත් කබඩි ක්‍රීඩා සමාජ ප්‍රධානීන් විසින් එතෙක් ජාතික කබඩි පුහුණු සංචිතවල කල්ගෙවූ සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීමය.

කෙසේ වුවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවවාදාත්මක ලිපි නිකුත් කළත් මේ දක්වා ප්‍රශ්නය විසඳී නැත. ඉවත්ව ගිය ත්‍රිවිධ හමුදා කබඩි ක්‍රීඩක ක්‍රීඩකාවන් මේ දක්වා පුහුණු සංචිතවලට වාර්තා කර නැති බව කබඩි සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට කළ පැමිණිල්ලකට අනුව විශේෂ කමිටුවක් මගින් විමර්ශනයක්ද සිදු කළේය.

කෙසේ වුවත් කමිටුවේ විමර්ශන, නිගමන ඇතුළත් වාර්තාව ලබා ගැනීම සඳහා කබඩි සම්මේලනයේ සභාපතිවරයා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීම්වලට අනුව නොබෝදා ඔහුට කමිටුවේ නිගමනය දැනුම්දී තිබේ.

ඒ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කබඩි සම්මේලනය වෙනම විමර්ශනයක් සිදු කරමින් යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව යන කබඩි ක්‍රීඩා සමාජ තුනේ සභාපතිවරුන් හා ලේකම්වරුන් අවුරුදු පහකට බලපැවැත්වෙන පරිදි තහනමක් පැනවීය.

එහිදී අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව නාවික හමුදා කබඩි ප්‍රධානීන් දෙදෙනාට පනවා තිබූ තහනම ඉවත් කිරීමට කබඩි සම්මේලනයේ විධායක සභාව මේ වන විට කටයුතු කර තිබේ.


අදහස් (0)

ත්‍රිවිධ හමුදා කබඩි ප්‍රධානීන්ට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්ගෙන් අවවාද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.