Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු සියවස් සැමරුම් තරගාවලිය අප්‍රේල් 7-8-9

දැල්පන්දු සියවස් සැමරුම් තරගාවලිය අප්‍රේල් 7-8-9

නාමල් පතිරගේ - 2021 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සියවස් සමරුව නිමිත්තෙන් සංවිධාන කෙරෙන අන්තර් සමාජ ආරාධිත දැල්පන්දු ලීග් තරගාවලිය ලබන අප්‍රේල් 7, 8, 9 යන දිනවල රත්නපුරය නගර සභා ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ ඇතුළුව කණ්ඩායම් නවයක් ආරාධනා ලබා සිටිති.

යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලීසිය, හැටන් නැෂනල් බැංකුව,  සෙලාන් බැංකුව, ශ්‍රී ලංකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම, ට්‍රැක්මාස්ටර්ස් ක්‍රීඩා සමාජය සහ  ශ්‍රී ලංකා සංචිත යන කණ්ඩායම් තරගාවලියට ආරාධනා ලැබ සිටිති.  ආරාධිත තරගාවලියේ අවසන් මහ තරග අප්‍රේල් 9 වැනිදා පස්වරු 2.00 ට පැවැත්වේ.

ජයග්‍රාහී ක්‍රීඩා සමාජය සඳහා සියවස් සැමරුම් කුසලාන සහ රන් පදක්කම් ප්‍රදානය කෙරේ. අනුශූරතාව හා තෙවෙනි ස්ථානය සඳහා ද කුසලාන ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් තිළිණ කිරීමට කටයුතු යොදා ඇත.

මෙම වසරට නියමිත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ශත සංවත්සරය නිමිත්තෙන් සූදානම් කරන මෙම තරගාවලියේ විශේෂත්වය එය වසර 2019 දෙසැම්බර් මාසයෙන් පසුව පැවැත්වෙන පළමු දේශීය දැල්පන්දු තරගාවලිය වීමයි.  දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය පැවසුවේ කොවිඩ් වසංගතයෙන් පසුව වසරකටත් අධික කාලයක් තිස්සේ අඩපණව පවතින දේශීය දැල්පන්දු තරග මාලා ආරම්භයට දිරි ගැන්වීමක් ලෙස මෙම සංවත්සර සැමරුම් තරගාවලිය සංවිධාන කරන බවයි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය පිහිටුවා මෙම වසරට වසර 100ක් ලෙස සැලකෙන අතර ඒ නිමිත්තෙන් ලෝක දැල්පන්දු සම්මේලනයේ නියෝජිතවරියන්ගේ ද සහභාගිත්වයෙන් විශේෂ සැමරුම් හා උපහාර උත්සවයක් ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට දැල්පන්දු සම්මේලනය සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ උපන් දිනයට නිශ්චිත යැයි කිවහැකි දිනයක් වාර්තා නොවන අතර 1921 අගෝස්තු මාසයේ දිනකදී ශ්‍රී ලංකාවේදී පළමු වතාවට දැල්පන්දු ක්‍රීඩාවට අදාළ සමුළුවක් පවත්වා තිබේ. එබැවින් ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවේ ශත සංවත්සරය 2021 අගෝස්තු මාසයට යෙදී ඇති ලෙස සලකා ශත සංවත්සර උත්සවය සංවිධානය කෙරේ.

දැල්පන්දු සම්මේලනය අවසන් වරට සංවිධානය කළේ 2019 දෙසැම්බර් මාසයේදී පැවැති ජාතික දැල්පන්දු ශූරතාවලියයි.


අදහස් (0)

දැල්පන්දු සියවස් සැමරුම් තරගාවලිය අප්‍රේල් 7-8-9

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.