Last Update  :  2025-02-19 11:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුවද්දී දැවීයෑම් දෙක පරාජයට හේතුවුණා - ඕෂධී
ආසියානු කුසලාන

දුවද්දී දැවීයෑම් දෙක පරාජයට හේතුවුණා - ඕෂධී

editorial - 2022 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයට මුල් පෙළ පිතිකාරිණියන් දෙදනකුම දුවද්දී දැවීයෑම බෙහෙවින්ම බලපෑ බව කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා ඕෂධී රණසිංහ පවසන්නීය. 

ලකුණු 151 ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුල් ඕවර 5 අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 39 ක් ලබා සිටියේය. එහෙත් එතැන් පටන් පන්දු 14 ක් ඇතුළත මල්ෂා ෂෙහානි (9) සහ හර්ෂිතා මාධවී (26) දෙදෙනාම දුවද්දී දැවීයෑම්වලට හසුවීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 48 කට කඩුලු 3 ක් ලෙස අසීරු තත්ත්වයකට පත් විය.  

“අපි හොඳ ආරම්භයක් ලබාගත්තා. මුල් ඕවර කිහිපයේදී අපි හොඳ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවාගෙන හිටියා. දුවද්දී දැවී යෑම දෙක තමයි තරගයේ හැරවුම් ලක්ෂය බවට පත්වුණේ. විස්සයි-20 තරගවලදී අපිට දුවද්දී දැවී යෑම්වලට ඉඩ දෙන්න බෑ. එතැනින් පස්සේ තමයි තරගය වෙනස් වෙන්න පටන් ගත්තෙ.” යැයි ඕෂධී කියා සිටියාය. 

දුවද්දී දැවීයෑම් දෙකෙන් පසුව ශ්‍රී ලංකා පිතිකාරිණියන් එකා පසුපස එකා ආපයින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉන්දීය පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් හසිනි පෙරේරා පන්දු 32 කදී ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. 

“තණතිල්ල නම් පිතිකරුවන්ට වාසි දායකයි. මං හිතනවා අපි ඔවුන්ට (ඉන්දියාවට) වැඩිපුර ලකුණු 10 ක් 15 ක් දුන්නා කියලා. ඒත් අපි ලබාගත්ත ආරම්භයත් එක්ක ලකුණු 150 ක් හඹා යන්න පුලුවන්කමක් තිබුණා. ඒත් දුවද්දී දැවී යෑම්වලින් පස්සේ දිගින් දිගටම කඩුලු බිඳ වැටීම නතර කරගන්න අපිට බැරිවුණා.” යැයිද ඕෂධී පැවසුවාය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 150 ක් ලබාගත් අතර එහිදී බිඳවැටුණ කඩුලු 6 න් 3 කටම හිමිකම් කීමට ඕෂධී සමත් වූවාය. සුගන්දිකා කුමාරි සහ නායිකා චමරි අතපත්තු කඩුල්ල බැගින් දවාගනිමින් ඉන්දීය පිතිකාරිණියන් පීඩනයට පත්කිරීම සඳහා ඕෂධීට අනගි සහායක් දුන්හ. 

“අපේ පන්දු යැවීම ගැන අපිට සතුටු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම අධිවේගී ඕවර තුළදී අපි කඩුලු 2 ක් දවාගත්තා. අපි බලාපොරොත්තු වුණේ එයාලව ලකුණු 130 කට වගේ නවත්තගන්න. ඒත් ඉනිමේ මැද භාගයේදී අපෙන් වැඩිපුර ලකුණු ටිකක් ගියා. ඒකෙන් එයාලා අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවකට ගියා.” යැයිද ඕෂධී වැඩි දුරටත් සඳහන් කළාය.  

 


අදහස් (0)

දුවද්දී දැවීයෑම් දෙක පරාජයට හේතුවුණා - ඕෂධී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.