Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දූෂිත ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට තවත් ශ්‍රී ලාංකිකයෙක්

දූෂිත ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට තවත් ශ්‍රී ලාංකිකයෙක්

editorial - 2023 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2021 දී අබුඩාබියේදී පැවැති දහයයි-10 ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට සම්බන්ධ වූයේ යයි අන්තර්ජාතික  ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය විසින් නම්කරන ලද 8 දෙනා අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු වන සාලිය සමන්ගේ නමත් ඇතුළත් වේ. එම තරගාවලියේදී විවිධ ආකාරයේ දූෂිත කටයුතු සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් 8 දෙනාට චෝදනා එල්ල වී ඇත.

‘පූනේ ඩෙවිල්ස්’ කණ්ඩායම නියෝජනය කළ 8 දෙනකුට මෙම චෝදනා එල්ල වී තිබේ. ඔවුන් 8 දෙනා අතර බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කළ නසීර් හොසේන් ද සිටී. ‘පූනේ ඩෙවිල්ස්’ කණ්ඩායම දහයයි-10 තරගාවලියට අවසන් වරට සහභාගි වූයේ 2021 දීය. එහිදී තරග 6 ක් ක්‍රීඩා කළ ඩෙවල්ස් ක්‍රීඩකයෝ ජයගත්තේ එකම තරගයක් පමණි.

දූෂණ චෝදනා එල්ල වී තිබෙන අය අතර සිටින ක්‍රිෂාන් කුමාර් චෞද්රි සහ පරාග් සංගිවි දෙදෙනා පූනේ ඩෙවල්ස් කණ්ඩායමේ සම හිමිකරුවෝ වෙති. රිස්වාන් ජාවෙඩ්, සාලිය සමන් සහ නසීර් හොසේන් ක්‍රිකට් ක්‍රීඩකයන් වන අතර අෂාර් සයිදි සහ සනී ඩිලන් පුහුණුකරුවෝය. ශදාබ් අහමඩ් කණ්ඩායමේ කළමනාකරුවාය.

අන්තර්ජාතික  ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය විසින් මෙම චෝදනා එල්ල කර තිබේ. අදාළ  පුද්ගලයන්ට ඒ වෙනුවෙන් උත්තර බැඳීම සඳහා ඊයේ (අඟහරුවාදා) සිට සති දෙකක කාලයක් ද දී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ කොන්දේසි අනුව, කිසියම් පරීක්‍ෂණයක් කෙරෙන අවස්ථාවේදී ඊට ප්‍රතිචාර නොදැක්වීම හෝ සහයෝගය නොදීම, නැතහොත් පරීක්‍ෂණ ප්‍රමාද කිරීමට කටයුතු කිරීමත් ක්‍රිකට් දූෂණ වලට සම්බන්ධවීමකි. “තරගයක තීරණය වෙනස් කිරීමට හෝ ඒ වෙනුවෙන් කුමන්ත්‍රණය කිරීමට නැතහොත් බලපෑම් කිරීමට ගන්නා උත්සාහයක පාර්ශ්වකරුවකු වීම” යන චෝදනා සාලිය සමන් සහ රිස්වාන් ජාවෙඩ් දෙදෙනාටත්, පුහුණුකරුවන් දෙදෙනාටත් එල්ල වී ඇති චෝදනා වෙයි.

මේ අතර දූෂිත කටයුතු සඳහා ක්‍රීඩකයන්ට පිරිනැමෙන ත්‍යාග පිළිගැනීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ද සාලිය සමන් සහ රිස්වාන් ජාවෙඩ් දෙදෙනාට චෝදනා එල්ලවී තිබේ.

සාලිය සමන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලියේදී ලන්කන්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කර තිබේ. ඔහු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම් දෙකක්ම (වයස 19 න් පහළ සහ 17 න් පහළ) නියෝජනය කළ ක්‍රීඩකයෙකි. දකුණත් පිතිකරුවකු මෙන්ම මදවේග පන්දු යවන්නකු වන සාලිය, ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලිවලදී, පළමු පෙළ තරග 101 කට ක්‍රීඩා කර තිබේ.


අදහස් (0)

දූෂිත ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට තවත් ශ්‍රී ලාංකිකයෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.