Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාවිකයෝ දෙවැනි තැන සොයති

නාවිකයෝ දෙවැනි තැන සොයති

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ තව දුරටත් පෙරමුණ රැකගැනීමේ අදිටනින් පසුවන මහනුවර ක්‍රීඩා සමාජයේ අපරාජිතභාවය බිඳ දැමීමට කුරුමානම් අල්ලමින් නාවික හමුදා රග්බි කණ්ඩායම  අද (9) පස්වරුවේ නිත්තවෙලට ළඟාවෙයි. මෙතෙක් පැවැති තරග පහෙන් 5 ම ජයගත් මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු 29 ක් ලබා පෙරමුණේ පසුවන අතර නැවියෝ තරග 5 කින් 4 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 21 ක් ලබා තුන්වැනි තැන සිටිති.

රග්බි පිටිය උඩුයටිකුරු කරවීමට සමත් පෙරළිකාර ක්‍රීඩකයන්ගෙන් සමන්විත සෙංකඩගල කණ්ඩායම අද සොයා යන්නේ සිය 6 වැනි ජයග්‍රහණයයි. පළමු වටයේ නිමාවට තවත් එක් තරගයක් පමණක් ඉතිරිව ඇති බැවින් අද තරගයේදිත් ජයග්‍රහණය හැර අන් දෙයක් මහනුවර ක්‍රීඩකයන්ගේ මනසේ නැත.

ඔවුන්ගේ ෆුල් බෑක් ක්‍රීඩක තිළිණ විජේසිංහ ලකුණු 55 ක් අත්කර ගනිමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වී සිටින අතර අනුරුද්ධ විල්වර වැඩිම උත්සාහක දිනුම් ලාභියා ලෙස උත්සාහක දිනුම් 7 කට හිමිකම් කියයි. වැඩිම උත්සාහක දිනුම්ලාභීන් අතර දෙවැනි තැන පසුවන්නේද මහනුවර පිලේ විශිෂ්ට ක්‍රීඩකයකු වන ධනුෂ්ක රන්ජන්ය. ඔහු තැබූ උත්සාහක දිනුම් සංඛ්‍යාව 6 කි.

ඊට නොදෙවැනි ක්‍රීඩා විලාශයකට හිමිකම් කියන නාවික හමුදා කණ්ඩායමත් ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතය. ඔවුන්ගේ ෆුල්බෑක් ක්‍රීඩක තිළිණ වීරසිංහ වැඩිම සමස්ත ලකුණු ලාභීන් අතර දෙවැනි තැන සිටින්නේ ලකුණු 54 ක්ම රැස් කරමිනි. හුකර් ක්‍රීඩක දුලාංජන විජේසිංහගේ සහ සෙන්ටර් ක්‍රීඩක මූෂින් ෆලීල්ගේ කැපී පෙනෙන දස්කම් නැවියන්ගේ ජයග්‍රහණ රැසකට සම්මාදම් වී තිබිණ.

අද තරගය ජයග්‍රහණයෙන් නිමා කර දැනට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අබිබවා යාම නැවියන්ගේ අපේක්ෂාව වී තිබේ. හැව්ලොක්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සිටින්නේ ලකුණු 23 ක් සමගිනි. එය නැවියන්ගේ ලකුණු සංඛ්‍යාවට වඩා වැඩිවී ඇත්තේ ලකුණු දෙකකින් පමණි.

ඒ සියල්ල අතර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයත් තම ස්ථානය රැක ගැනීමේ අරමුණ ඇතිව හෙට පස්වරුවේ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමග තරග බිමට පිවිසෙයි. මෙය සී.ආර්.පිටියේදී පැවැත්වෙන බැවින් හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට එය සිතෙන තරම් පහසු එකක් නොවන බව නම් පැහැදිලිය.

තරග 5 කින් 2 ක් පමණක් ජයගෙන නොසිතූ පසුබෑමකට ලක්ව සිවුවැනි තැන සිටින මේ රතුබැනියම් කාරයන් දැන් පසුවන්නේ ඇතිවීම හෝ නැතිවීම ගැන කල්පනා කරමිනි. පළමු තරග 2 දිනුවාට පසුව සී.එච්., යුද හමුදාව සහ මහනුවර පිල හමුවේ ඇද වැටුණු රතුබැනියම් කාරයන්ගෙන් අද හැව්ලොක්ස් පිලට එල්ල වනු ඇත්තේ සුලුපටු අභියෝගයක් නොවන බව ඉන් පැහැදිලිය.

ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි සහ 7 වැනි තැන පසුවන පිළිවෙළින් සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායම අතර තරගයත් අද රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැත්වෙයි. සී.ආර්. කණ්ඩායම සමග සම ලකුණු ලබා ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන සිටින යුද හමුදා පිලට මේ වටයේදී ලකුණු සටහනේ අවසන් තැන සිටින පොලිස් කණ්ඩායම සමග පහසු තරගයක් ලැබී තිබේ. එම තරගය හෙට (10) හවස පැවැත්වෙන්නෙත් රත්මලානේදීය.

 


අදහස් (0)

නාවිකයෝ දෙවැනි තැන සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.