Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ කැඳවීමට ඇමැතිගෙන් මාස පහක සහන කාලයක්

නිලවරණ කැඳවීමට ඇමැතිගෙන් මාස පහක සහන කාලයක්

editorial - 2023 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙම වසරට (2023) නිලවරණ කැඳවිය යුතු ජාතික ක්‍රීඩා සංගම් සඳහා මාස පහක සහන කාලයක් ලබාදෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

ජාතික ක්‍රීඩා පනතේ රෙගුලාසි අනුව ජාතික ක්‍රීඩා සංගමයක් නිලවරණය යෙදෙන වසරේ මැයි 31 වැනිදාට පෙර එය පවත්වා අවසන් කළ යුතුය. ඒ අනුව මෙම වසරේ නිලවරණ කැඳවිය යුතු අවසන් දිනය පෙරේදාට (31) යෙදී තිබුණි. කෙසේ වුවත් පසුගිය මැයි 31 වැනිදාට පෙර නිලවරණය කැඳවිය යුතු වුවත් එසේ කිරීමට අපොහොසත්වූ ජාතික ක්‍රීඩා සංගම් ගණන අටක් වන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මෑතකදී හඳුන්වා දුන් ක්‍රීඩා පනතේ නව සංශෝධිත රෙගුලාසි මාලාව සම්බන්ධයෙන් උද්ගතවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් බොහෝ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණය කැඳවීම සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රමාණවත් සූදානමක් පළකර නැත.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන්ට නිලවරණය පවත්වා අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් සහන කාලයක් ලබාදීම ක්‍රීඩා ඇමැතිවරයාගේ ගැසට් නිවේදනයේ අරමුණ වී තිබේ.

ක්‍රීඩා ඇමැතිවරයාගේ රෙගුලාසි සංශෝධිත ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අභියාචනාධිකරණයේ නඩුවක් පැවැරීමටද කටයුතු කළේය. කෙසේ වුවත් එම නඩුව සමථයට පත් කර ගැනීමට පසුව ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළේය.

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කළේ 2023 අගෝස්තු 1 වැනිදායින් පසුව කැඳවෙන ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ක්‍රීඩා ඇමැතිවරයාගේ එකී සංශෝධිත රෙගුලාසි අනුව යමින් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟතාවකට පැමිණි බවයි.

ඒ ක්‍රිකට් ආයතනය අභියාචනාධිකරණයේ පැවැරූ නඩුව බල රහිත කරන ලෙස ඉල්ලා ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැරූ නඩුවක් සලකා බලමිනි.

කෙසේ වුවත් 2023 මැයි 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් අතරින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ඉකුත් 31 වැනිදා පැවැති නිලවරණයේදී සභාපතිවරයා ලෙස වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා නිතරගයෙන් පත්කර ගත්තේය.

නියෝජිතයන් 12 දෙනකුගේ සහභාගිත්වයෙන් පමණක් මැයි 29 දා පැවැති ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණයේදී නව විධායක සභාව නිතරගයෙන් තේරී පත්වෙද්දි සභාපති ධුරයට නාමල් සුරංග මල්ලවාරච්චිගේ මහතා පත්විය.


අදහස් (0)

නිලවරණ කැඳවීමට ඇමැතිගෙන් මාස පහක සහන කාලයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.