Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ තුනක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් යටතේ

නිලවරණ තුනක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් යටතේ

නාමල් පතිරගේ - 2020 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිලධාරින්ගේ පාර්ශව අතර ආරවුල් පැන නැගීම නිසා නිලවරණය කැඳවීම දිගින් දිගටම ප්‍රමාද වූ ජාතික ක්‍රීඩා සංගම් තුනක නිලවරණ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ පැවැත්වීමට තීරණය වී තිබේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා සවි එසවීමේ සම්මේලනය හා ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ නිලවරණ කැඳවීමට නියමිතය.

වසර 2020 දී නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් 24 කින් ගණනාවක්ම මෙතෙක් නිලවරණ පවත්වා නැත. ඔවුන්ට මෙම නොවැම්බර් 30 වැනිදා දක්වා තවත් සහන කාලයක් ලබා දී තිබේ. එහෙත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා සවි එසවීමේ සම්මේලනය හා ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සඳහා නිලවරණ පැවැත්වීමේ දින තවමත් තීරණය වී නැත.

ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන පරිදි 2020 අගෝස්තු 20වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කළ යුතුව තිබූ ජාතික ක්‍රීඩා සංගම් 24ක ලේඛනයේ ඉහත ජාතික ක්‍රීඩා සංගම් තුන ද දක්වා තිබුණි. මෙම ජාතික සංගම් තුනේම පසුගිය නිලවරණවලින් තේරී පත්වූ විධායක සභාවේ නිලධාරීන්ට එරෙහිව චෝදනා කීපයක් මුල්කර ගනිමින් ක්‍රීඩා අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ නිලවරණ නියමිත කාලයක් තුළ දී විධිමත්ව පවත්වා අවසන් කිරීමට අපොහොසත්වීමේ චෝදනාවක් මතය.

ඊළඟ නිලවරණයට පෙර ගිණුම් වාර්තා විගණනය කර ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම ඔවුන්ට එල්ල වන ප්‍රධානතම චෝදනාවකි.  ක්‍රීඩා අමාත්‍යාංශය කැඳවූ විමර්ශනවලට පෙනී නොසිටි බව කියන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ප්‍රධානීන් තිදෙනෙකුට එරෙහිව මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරි නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ තහනමක් ද පනවා තිබේ.

මෙලෙස මීළඟ නිලවරණයට ඉදිරිපත්වීම තහනම් කළ පාපැදි සම්මේලනයේ සභාපති ධුරය දැරූ අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න, ප්‍රධාන ලේකම් ධුරය දැරූ නිහාල් කුලසේකර හා භාණ්ඩාගාරික ධුරය දැරූ සේනක රණසිංහ යන මහත්වරුන් තහනමට එරෙහිව ක්‍රීඩා ඇමැතිවරයාට අභියාචනා ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු නිලධාරින්ගේ පාර්ශ්ව අතර ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ එහි නිලවරණය කැඳවීම මේ වනවිට වසර දෙකක් දක්වා ප්‍රමාදවී තිබේ. එහි හිටපු සභාපති කිත්සිරි ප්‍රනාන්දු, ප්‍රධාන ලේකම් නිහාල් වීරතුංග යන මහත්වරු ඇතුළු නිලධාරින් ගණනාවක් කැඳවා මේ වනවිට විමර්ශන කීපයක්ම සිදුකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

එහිදී ගැටුම්කාරී පාර්ශ්ව බවට පත්ව තිබෙන නිලධාරින් කායවර්ධන සම්මේලනයේ පසුගිය වසර කීපයේ දී සිදුවී ඇතැයි කියන මුල්‍ය අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව තොරතුරු ක්‍රීඩා අමාත්‍යාංශයට ලබා දී ඇතැයි ද වාර්තාවේ. පාපැදි සම්මේලනයේ පසුගිය පාලනයට එරෙහිව එල්ලවී තිබෙන ගිණුම් වාර්තා විගණනය කිරීමට අපොහොසත්වීමේ චෝදනාව ගැන එහි භාණ්ඩාගාරික ධුරය දැරූ සේනක රණසිංහ මහතා පැවසුවේ පාපැදි සම්මේලනයේ අර්බුදයට තුඩුදුන් පසුගිය පාලන සමයේ (2017-18) ගිණුම් වාර්තා විගණනය කර මේ වනවිට අවසන්ව තිබෙන බවයි.

මේ අතර පාපැදි සම්මේලනයේ පසුගිය නිලවරණයෙන් (2017-21) බලයට පත්වූ එන්. කරුණාරත්න මහතාගේ සහභාගිත්වයෙන් යුත් විධායක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයට මීට ඉහත දී යොමු කළ ලිපියක දක්වා තිබුණි. ගිණුම් වාර්තා විගණනය කිරීම නියමිත කාලයේ දී ඉටු කිරීමට අපොහොසත්වීම (ප්‍රමාද කිරීම) ගැන සිය විධායක සභාවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.  ඒ සිය විධායක සභාව පසුගිය නිලවරණයෙන් පත්වූ දා සිට ඉදිරි සිව් වසරක කාලයක් සඳහා වංලගු වන බැවින් වසර 2020 ට නිලවරණය කැඳවන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදී තිබෙන නියෝගය වැරදි සහගත බවයි.

පාපැදි සම්මේලනයේ මීළඟ නිලවරණය යෙදෙන්නේත් වසර 2021 දී බව එම ලිපියෙන් අවධාරණය කර ඇත. ඒ අනුව වසර 2017 දී පත්වූ විධායක සභාවේ නිල කාලය අවසන් වන්නේ ද එම වසරේ දී බව එමගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර නිලවරණය කැඳවීම සඳහා නිල ක්‍රීඩා සංගම් නාමලේඛනය ක්‍රීඩා අමාත්‍යාංශයට බාරදෙන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නොබෝදා එම සම්මේලනයට දැනුම් දුන්නේය.
එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙතෙක් පාපැදි සම්මේලනයේ කටයුතු කළ විධායක සභාව ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

මෙවැනිම අවුල් වියවුල් සහගත තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකා සවි එසවීමේ සම්මේලනයේ නිලවරණය කැඳවීම ද දිගින් දිගටම ප්‍රමාදවීම හමුවේ එය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයේ පැවැත්වීමට මේ වනවිට තීන්දු කර තිබේ.  

 


අදහස් (0)

නිලවරණ තුනක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් යටතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.