Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පසුබැස්සෝ අවස්ථා සොයති

පසුබැස්සෝ අවස්ථා සොයති

Nisanka Sandeepani - 2017 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙනදාට වඩා ජවසම්පන්න බවකින් යුතුව තරගබිමට අවතීර්ණ වෙමින් පසුගිය තරගාවලි කිහිපයටම වඩා වෙනස් ආකාරයේ තරග විලාසයක නිරතවන සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය තව තවත් ජයග්‍රහණ සොයා යයි.

සිය ජයග්‍රහණ පිපාසය තවදුරටත් සංසිඳුවාගැනිමේ අරමුණින් සී. එච්. කණ්ඩායම අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලිග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තයට සූදානම් වන්නේ පොලිස් ක්‍රීඩා සමාජය අසරණ කිරීමට කුරුමානම් අල්ලමිනි. 

අනෙක් අතට පොලිස් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන මේ තරගයේදී සී.එච්.පිලේ අරමුණ ඉටු කරගැනීමට පොලිස් ක්‍රීඩකයන්ගෙන් බුරුළක් ලැබීම සැක සහිතය. පොලිස් පිල මේ වනවිටත් කිසිදු ජයග්‍රහණයක් නොමැතිව පීඩාවට පත්වී සිටින බැවින් පොලිසියේ ඉලක්කය වන්නේ තවමත් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ සිටින සී.එච්. පිල බිම දමාගැනීමයි. 

පොලිස් පිල පසුගිය සතියේදී පරාජයට පත් කළ ශ්‍රී ලංකා නාවික හමුදාවත් සිය ජයග්‍රහණ පෙළ ගැස්ම ඉහළ දමාගැනිමේ බලාපොරොත්තුවෙන් හෙට ශ්‍රී ලංකා ගුවන් හමුදා පිලට සත්කාරකත්වය දක්වයි. ගුවන් හමුදා පිල මේ තරගයට එක්වන්නේ ලීග් ශූරතාවේ වත්මන් හිමිකාරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 55-12 කින් හොඳට සල්ලම් වීමෙන් පසුවය. එසේවුවත් හෙට තරගයේදී ඔවුන්ගේ අභිප්‍රාය වනු ඇත්තේ ඒ පරාජය අකාමකා දැමීමයි. 

මෙවර සති අන්තයේ කාගෙත් අවධානය දිනාගනු ඇත්තේ හෙට (2) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර තරගය කෙරෙහිය. ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන හැව්ලොක්ස් පිල පසුගිය සතියේදී සී.එච්.පිල හමුවේ පරාජයෙන් ගැලවුණේ අනූනවයෙනි. එසේ වුවත් පසුගිය සතියේදී ප්‍රබල සී.ආර්.ඇන්ඞ් එෆ්.සී.ක්‍රීඩා සමාජයට අනපේක්ෂිත පරාජයක් උරුම කරදුන් යුද හමුදා පිල හැව්ලොක්ස් පිල හමුවේ සිය සටන්කාමීත්වය ඉහළින්ම පෙන්වනු ඇතැයි දැනටත්ම අනාවැකි පළවි තිබේ.

මෙවර තරගාවලියේ මෙතෙක් අපරාජිත එකම කණ්ඩායම බවට පත්වෙමින් පෙරමුණේ පසුවන මහනුවර ක්‍රීඩා සමාජය කොළඹට පැමිණෙන්නේ සී.ආර්.පිල හමුවේ තවදුරටත් සිය අපරාජිතබව රැක ගැනීමේ අරමුණ ඇතිවය. ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන්ම ශක්තිමත්වී සිටින මහනුවර පිල හමුවේ තරග වදින සි.ආර්.පිල පසුගිය සති  දෙකේදිම පරාජය උරුම කරගත්තේය. 

කෙසේ වෙතත් රතුබැනියම් කාරයන්ගේ සුපුරුදු නායක කවිඳු පෙරේරාට පනවා තිබූ තරග 3 ක තහනම නිමාවට පත්වී ඇති නිසා මහනුවර පිලට මේ තරගයට සිතෙන තරම් ලෙහෙසි වන්නේ නැති බව නම් ඉඳුරාම කිව හැකිය. 


අදහස් (0)

පසුබැස්සෝ අවස්ථා සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.