Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර මෝදරවිල ක්‍රීඩාංගණය අනතුරේ

පානදුර මෝදරවිල ක්‍රීඩාංගණය අනතුරේ

යොහාන් භාසුර - 2020 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර දිස්ත්‍රික්කයට දැඩි අඩුපාඩුවක්ව පවතින මීටර 400 ධාවන පථයකින් යුත් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා වෙන්කර තිබූ පානදුර, මෝදරවිල කර්මාන්ත පුරයේ රජයට අයත් ඉඩමෙන් කොටසක් පිටස්තර පුද්ගලයකුට ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. අක්කර 7 කට ආසන්න භූමියකින් යුත් ‘මෝදරවිල’ ක්‍රීඩාංගණයේ මීටර 400 ධාවන පථයකින් යුත් ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් පැවැත්විය හැකි පහසුකම්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, පිහිනුම් තටාකයක් සහ රග්බි, පාපන්දු ආදි ක්‍රීඩා පැවැත්වීමේ පහසුකම්වලින් යුත් අංශ සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට යෝජනා වී තිබුණි.

මෙම භූමිය පස් පුරවා සකස් කිරීමට පමණක් රුපියල් ලක්‍ෂ 300 ක් පමණ වැයකර ඇති බවට වාර්තා වේ. එහෙත් කිසිඳු ඉදිකිරීමක් මේ දක්වා කර නොමැති වුවත් ක්‍රීඩාංගණයට රුපියල් ලක්‍ෂ 700 කට ආසන්න මුදලක් වැය වී ඇති බවට රාජ්‍ය ආයතනවල වියදම් වාර්තා පවතින බව ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි.  

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම මාර්ග දෙකක් වන ගාලු පාරට සහ රත්නපුර පාරට මීටර 100 ක් පමණ වන ඉතාමත් ආසන්නයේ මෙම භූමිය පිහිටා තිබීම නිසා මෙහි පිහිටීම ඒ සඳහා වඩාත්ම උචිත ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබුණි.    

කළුතර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ අදහසකට අනුව ක්‍රීඩාංගණයක් සඳහා මීට වසර 15 කට පමණ පෙර මෙම බිම් කොටස වෙන්කර තිබේ. ක්‍රීඩා භූමියකට වෙන්කළ දිනයේ සිට ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහි ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවල නිරත වූ අතර ඇතැම් පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව ද පැවැත්විණි.

මෙම ක්‍රීඩාංගණයේ සෑම පසකින්ම ප්‍රධාන පාසල් රැසක් පිහිටා ඇති අතර එම පාසල් කීපයක්ම මෙම ක්‍රීඩාංගණය ලබාගැනීමට උත්සහ කළ ද දේශපාලන අත්පෙවීම් නිසා එම උත්සාහයන් ව්‍යාර්ථ වූ බව වාර්තා විය.

එවැනි තත්ත්වයක් තිබියදී ක්‍රීඩාංගණය සඳහා වෙන්කර තිබූ මෙම භූමි කොටස මීට වසර හතරකට පමණ පෙර කළුතර දිස්ත්‍රික් වර්තමාන පාර්ලිමේන්තු වත්මන් මෙන්ම හිටපු අමාත්‍යවරයකුගේ මැදිහත්වීමෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා යැයි දක්වමින් වෙන්කර තිබුණි.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට යැයි වෙන්කර තිබූ එම භූමිය මේ වන විට ව්‍යාපාරිකයකුට ලබාදී ඇති බවත් ඔහු කිසියම් ඉදිකිරීමත් සඳහා භූමිය සකස් කරමින් සිටින බවත් ප්‍රදේශවාසීහූ පවසති.

පානදුර ප්‍රදේශයේ ක්‍රීඩා නිලධාරියකු පැවසුවේ මෙම ක්‍රීඩාංගණයේ කොටසක් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැළසුම් කිරීම සම්බන්ධයෙන් ද තමන් විරෝධය පළ කළ බවයි.

“ක්‍රීඩාංගණයක් ඉදිරිකිරීමට පානදුර නගරයෙන් වෙනත් ඉඩමක් හොයාගන්නත් නෑ. ඒ නිසා මේ කරන්න යන වැඩේ නැවැත්විය යුතුයි. මේක පානදුරේ දරු පරපුරට කරන අපරාධයක්” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

පානදුර නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පැවසුවේ මේ අවස්ථාවේදී බලධාරීන් ක්‍රියාත්මක වුවහොත් ක්‍රීඩාංගණය බේරාගත හැකි බවයි.
 
“ක්‍රීඩාංගණයෙන් වෙන්කරගෙන ඇති කොටසේ මේ දක්වා ඉදිකිරීමක් කරලා නෑ. ඒ නිසා තවමත් අවස්ථාව තිබෙනවා” යැයි ද එම හිටපු මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

පානදුර මෝදරවිල ක්‍රීඩාංගණය අනතුරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.