Last Update  :  2025-04-07 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු ක්‍රීඩාංගණයට කෝටි 200ක් වෙන්කරයි

පාපන්දු ක්‍රීඩාංගණයට කෝටි 200ක් වෙන්කරයි

editorial - 2025 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවේ සංචාරය අවසන් කරමින් මෙරටින් පිටව ගිය ආසියානු පාපන්දු සමුළුවේ සභාපති ෂෙයික් සලමන් බින් ඉබ්‍රාහීම් අල් කලිෆා මහතා මෙරට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සදහා සිය සමුළුවේ පූර්ණ සහය ලබා දෙන බවට ශ්‍රී ලංකාවට ප්‍රතිඥා ලබාදී තිබේ.

ඔහුගේ ශ්‍රී ලංකාවේ සංචාරයට සමගාමිව දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් පිරිසක්ද මෙරටට ළගා විය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතාගේ ආරාධනයෙන් ආසියානු පාපන්දු සමුළුවේ සභාපතිවරයා මෙරට සිදු කළ සංචාරයේදී මෙරට ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය සදහා විශේෂ මූල්‍යාධාර ලබාදීමට එකගතාව පළ කර සිටියේය.ඒ පිළිබදව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ හා විදේශ ඇමැති විජිත හේරත් මහතා සමග ද ඔහු මෙරට සංචාරයේදී සාකච්ඡා පැවැත්වීය.

ඒ සදහා අවශ්‍ය සියලු සහය ශ්‍රී ලංකා රජයෙන් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී ඇමැතිවරු දෙපළ ෂෙයික් සලමන් බින් ඉබ්‍රාහීම් අල් කලීෆා මහතාට දැනුම්දී තිබේ.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ශ්‍රී ලංකාවේ නව ජාත්‍යන්තර පාපන්දූ ක්‍රීඩංගණය ඉදිකිරීම සදහා සුදුසු ඉඩමක්  හදුනා ගැනීම තව දුරටත් සිදු වෙමින් තිබෙන බව පැවසීය.

” ඒ සදහා දැනට යෝජනාවී තිබෙන්නේ මීගමුව කඩොල් කැළේ ක්‍රීඩාංගණයයි.ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුත් පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අඩු තරමින් අක්කර 12 ක තරම්වත් භූමියක් සොයා ගත යුතුයි. දැනට ඒ සදහා වඩාත් යෝග්‍යවත් භූමියක් ලෙස කඩොල් කැළේ ක්‍රීඩංගණය හදුනා ගෙන තිබෙනවා” යයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

මෙරට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීම සදහා ඩොලර් මිලියන 6.5 කට ආසන්න ප්‍රතිපාදන ලබාදීමට ආසියානු පාපන්දු සමුළුව හා අන්තර් ජාතික පාපන්දු සම්මේලනය එකගවී සිටින බවද වාර්තාවේ. මෙම මුදල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 200 ක් පමණය.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ දීර්ඝකාළීන පසු බෑමට ප්‍රධානතම හේතුවක් ලෙස මෙරට ප්‍රමාණවත් ලෙස  ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණ පහසුකම් නොමැතිවීම එම ජාත්‍යන්තර පාපන්දු සංවිධාන විසින් හදුනාගෙන තිබේ.තමන්ටම හිමිකම් ඇති ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක අවශ්‍යතාව දැනට බොහෝ කලක පටන් හදුනා ඇති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට ඒ සදහා ලොකුම බාධකයවී ඇත්තේ කොළඹ හෝ ඒ අවටින් මෙතෙක් සුදුසු ඉඩමක් සොයා ගත නොහැකිවීමයි.

ඒ අතර කොළඹ නගරයේ දැනට පවතින රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණය ඇතුළු ක්‍රීඩාංගණ කීපයක් කෙරෙහිද මීට පෙරත් ඒ සදහා අවධානය යොමු කර සිටියත් ඒවායෙහි හිමිකාරිත්වය මෙන්ම බදු ගිවිසුම් ඇති කර ගැනීමේදී පැන නැගිය හැකි ගැටලු පිළිබදවත් අවධානය යොමු කරමින් පාපන්දු ආයතනය සිය අදහස අත් හැර දමා තිබේ.

මේ අතර ජූනි මාසයේදී මෙරට සත්කාරයෙන් 14 වැනි දකුණු ආසියානු  (සාක්) පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතය.ඉකුත් අප්‍රේල් 3 වැනිදා ජාත්‍යන්තර පාපන්දු   සම්මේලනය සිදු කළ ලෝක පාපන්දු (පිරිමි)ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 200 වැනි  ස්ථානයේ තවදුරටත් පසුවේ. ආසියාවේ එහි ශ්‍රී ලංකාවට හිමි ස්ථානය රටවල් 46 ක් අතරින් 45 වැනි ස්ථානයයි.එහිදී ලොකයේම පළමු ස්ථානය ආජන්ටිනාවටත් ආසියාවේ පළමු තැන ජපානයටත් දකුණු ආසියාවේ පළමු තැන ඉන්දියාවටත් හිමිව තිබේ.


අදහස් (0)

පාපන්දු ක්‍රීඩාංගණයට කෝටි 200ක් වෙන්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.