Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පෘතුගාලය ගෙදර යවමින් ප්‍රංශය අවසන් පූර්ව වටයට
යූරෝ පාපන්දු - 2024

පෘතුගාලය ගෙදර යවමින් ප්‍රංශය අවසන් පූර්ව වටයට

editorial - 2024 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපා පාපන්දු සම්මේලනයේ සංවිධායකත්වයෙන් ජර්මනියේදී පැවැත්වෙන යූරෝ - 2024 ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පෘතුගාලයට එරෙහිව දඬුවම් පහර 5-3 ක් ලෙස ජය වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ප්‍රංශය ඊයේ (6 වැනිදා) සමත් විය.

හැම්බර්ග් නුවර වොල්ක්ස්පාර්ක්ස්ටේඩියන් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ නියමිත කාලය නිමාවට පත්වන විට දෙපිලම ගෝල ලබා නොසිටි බැවින් විනාඩි 30 ක අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවන් පියවර ගත් අතර එහිදීද ගෝල ලබාගැනීමට දෙපිලේම ක්‍රීඩකයෝ අපොහොසත් වූහ.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කෙරුණු අතර පළමු දඬුවම් පහර සාර්ථක කරගත් ඔස්මාන් ඩෙම්බෙලි ප්‍රංශයට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. පෘතුගාලය වෙනුවෙන් පළමු දඬුවම් සාර්ථක කරගත් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ, 1-1 ක් ලෙස ගෝල සංඛ්‍යාව සම කළේය. 

දෙවැනි වටයේදී ප්‍රංශය වෙනුවෙන් යූසුෆ් ෆොෆානාද, පෘතුගාලය වෙනුවෙන් බර්නාඩෝ සිල්වාද දඬුවම් පහර සාර්ථක කරගත් අතර ඒ අනුව ගෝල සංඛ්‍යාව 2-2 ක් ලෙස තවදුරටත් සම තත්වයේ පැවැතිණ. තෙවැනි දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ප්‍රංශයේ ජූල්ස් කොන්ඬේ සමත් වුවද, පෘතුගාලයේ ජෝවා ෆීලිස්ක් එහිදී අසාර්ථක විය. 

එබැවින් සිවුවැනි වටය ආරම්භ වන විට දඬුවම් පහර 3-2 ක් ලෙස ප්‍රංශය ඉදිරියෙන් සිටියේය. සිවුවැනි වටයේදී ප්‍රංශය වෙනුවෙන් බ්‍රැඞ්ලි බාකෝලාද, පෘතුගාලය වෙනුවෙන් නූනෝ මෙන්ඩස්ද දඬුවම් පහර සාර්ථක කරගත් බැවින් ගෝල සංඛ්‍යාව 4-3 ක් බවට පත්විය. 

කෙසේ වුවත් පස්වැනි දඬුවම් පහර සාර්ථක කර ගැනීමට තියෝ හර්නාන්ඩස් සමත් වීමත් සමග දඬුවම් පහර 5-3 ක් ලෙස තරගයේ ජය ප්‍රංශයට හිමිවිය. පෘතුගාලයේ ජොවා පල්හින්හා 79 වැනි විනාඩියේදීද, ප්‍රංශයේ විලියම් සලිබා 84 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පත් ලැබූහ. 

- 036


අදහස් (0)

පෘතුගාලය ගෙදර යවමින් ප්‍රංශය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.