Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බෝන් අගේන් ලේඛනය බොරුවක්

බෝන් අගේන් ලේඛනය බොරුවක්

editorial - 2023 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඕස්ට්‍රේලියාවේ දී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුවීම් පාදක කර ගනිමින් පංච පුද්ගල කමිටුව නිකුත් කළ විමර්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එහිදී මුදල් අවභාවිතය හා ‘බෝන් අගේන්’ ආගම ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කමිටු වාර්තාවෙන් නගන චෝදනා පදනම් විරහිත බව ක්‍රිකට් ආයතනයේ මතය වී තිබේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම පංච පුද්ගල කමිටුව අදාළ සිදුවීම් අළලා සකස් කළ විමර්ෂණ වාර්තාව පෙරේදා (11) ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත බාරදෙනු ලැබීය.

එහිදී කමිටු වාර්තාව නගන චෝදනා බරපතළ වන බැවින් එය අධ්‍යයනය සඳහා අර්ජුන රණතුංග මහතා සභාපතිත්වය දරන ජාතික ක්‍රීඩා සභාව වෙත යොමු කිරීමට ඇමැතිවරයා තීරණය කර තිබේ.

මේ අතර තමන් සම්බන්ධයෙන් කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති චෝදනා දෙකකට කිසිදු පදනමක් නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

තමන් ‘බෝන් අගේන්’ අනුගාමිකයකු බවට කමිටු වාර්තාවෙන් හුවා දක්වා ඇති නමුදු කිසිදු ‘බෝන් අගේන්’ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගි නොවූ තමා තවමත් හොඳ කතෝලිකයෙක් බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර තමා අදාළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සහභාගි වී නැති බවට වාර්තාව නිගමන ඉදිරිපත් කර ඇති නමුදු ඒ සඳහා තමා ඕස්ට්‍රේලියාව බලා රැගෙන ගියේ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නියෝජිතයන් විසින් බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

බෝන් අගේන් ආගමේ අනුගාමිකයන් වූ ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයන්, නිලධාරින්, පුහුණුකරුවන් හා විනිසුරුවන් වූ අට දෙනකු ගැන එහි දී සඳහන් වේ. භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩසේ, ලින්ඩල් හැනිබල්, රොෂාන් අබේසිංහ, රුවන් කල්පගේ, සදීර සමරවික්‍රම, ජෙරම් ප්‍රනාන්දු ද ඒ අය අතර වෙති.

කුමාර් සංගක්කාර මුල් අවස්ථාවේ දී මෙම ගොඩේ සිට ඇති බවද වාර්තාවේ දක්වා ඇත.

මේ අතර ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු ‘ලංකාදීප’ය  කළ විමසුමක දී පැවැසුවේ විමර්ෂණ වාර්තාව ඊයේ (12) සවස වන විටත් ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් ලැබී නොතිබුණු බවයි. වාර්තාව නිසි අධ්‍යයනයකින් පසුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම විමර්ෂණ වාර්තාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර තිබේ.

නොබෝදා ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඒ’ කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් ඉවත් කළ බව කියන චරිත් සේනානායක මහතා චෝදනා කළේද ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක වන ආගමික කල්ලියක් තමන් ධුරයෙන් ඉවත් කිරීමට බලපෑම් කළ බවයි.


අදහස් (0)

බෝන් අගේන් ලේඛනය බොරුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.