Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට රටවල් 6ක් මීගමුවට

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට රටවල් 6ක් මීගමුවට

editorial - 2025 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල්  (කාන්තා - පිරිමි) තරගමාලාව රටවල් හයක කණ්ඩායම් සහභාගිත්වයෙන් සිකුරාදා (24) මීගමුව වෙරළ උද්‍යාන පිටියේදී ආරම්භ වේ. එය සෙනසුරාදා හා ඉරිදා (25 -26) යන දිනවලදීත් එහිදී පැවැත්වේ.

කෙසේවූවත් අවසන් මොහොතේ  සහභාගිත්වය උස්බෙකිස්තානය විසින් ඉවත් කර ගැනීමෙන් ඊට සහභාගි වන රටවල් ගණන හයකට සීමාවී තිබේ.

තරගාවලියට සහභාගිවීම සඳහා කසකස්ථානයේ කණ්ඩායම් දැනටමත් ශ්‍රී ලංකාවට ළගාවෙමින් පුහුණුවීම් ආරම්භ කර තිබේ.

සත්කාරක ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සදහා කාන්තා හා පිරිමි කණ්ඩායම් හයක් සූදානම් කර තිබේ.මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක මහතා පැවැසුවේ තරගාවලියේ ශූරතාලාභී, අනුශූරතාලාභී හා තෙවැනි ස්ථාන සදහා  ඩොලර් 3000 ක මුදලක් බෙදාදීමට නියමිත බවයි.

මෙම තරගමාලාවේ සත්කාරය සදහා ශ්‍රී ලංකාව රුපියල් කෝටියකට ආසන්න වියදමක් දරයි.කෙසේවූවත් මෙම වියදම් සොයා ගැනීම සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඊයේ (20) වන විටත් අනුග්‍රාහකයන් සමග සාකච්ඡා කරමින් සිටියේය.

එහෙත් මෙම තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට යෝජනා කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශය හා ලංකා සංචාරක මණ්ඩලය මේ වන විට ඒ සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක පසුවීමෙන් තරග සංවිධායකයෝ දුෂ්කර තත්වයකට පත්ව සිටින බවද වාර්තාවේ.

හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා සංචාරක ඇමැති ධූරය දරමින් සිටියදී මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලෙස මෙම තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උනන්දු කර ඇත්තේ ඔහු විසිනි.

ඒ සදහා ලංකා සංචාරක මණ්ඩලය දායක කර දීමටද ඇමැතිවරයා එහිදී එකගවී තිබුණත් පැවැති රජය වෙනස්වීමත් සමග මෙසේ ඊට අනුග්‍රාහකයන් සෙවීමේදී වොලිබෝල් සම්මේලනය බරපතල ගැටළුවකට මුහුණදී තිබේ.

ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන බවට ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා වොලිබෝල් සම්මේලනයට ලබා දුන් බව කියන ප්‍රතිඥාවක් ඊයේ වන විටත් ඉටුවී නොතිබුණු බවද වාර්තාවේ.

තරගාවලියේ සත්කාරයට ඉල්ලුම්කර අනුමත කර ගැනීමෙන් පසුව සාධාරණ හේතුවක් නොමැතිව ඉන් ඉවත් වන්නේ නම් ඩොලර් දසදහසක දඩයක් ගෙවීමට සිදු වන බැවින් මෙම සිදුවීමේදී ශ්‍රී ලංකාව වඩාත් දුෂ්කර තත්වයකට මුහුණදී සිටින බවත් වැඩිදුරටත් වාර්තා විය.

තරග කාල සටහන (කුසපත් ඇදීම) එළිදැක්වීම අනිද්දා (23) පෙරවරු 11ට මීගමුව ටොෆෑස් හෝටලයේදී පැවැත්වේ.තරගාවලියේ සේවය සදහා දෙස් විදෙස් වෙරළ වොලිබෝල් විනිසුරුවන් 35 දෙනෙකු ඇතුළු සියයක පමණ කාර්ය මණ්ඩලයක් යෙදෙවේ.

සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළුව නේපාලය, කිරිගිස්තානය, භූතානය, කසකස්ථානය හා මාලදිවයින මෙම තරගාවලියට සහභාගි වන රටවල් වෙති.


අදහස් (0)

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට රටවල් 6ක් මීගමුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.