Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා-ක්‍රිකට් ඉසව් දෙකේම පදනම දිවීමයි

මලල ක්‍රීඩා-ක්‍රිකට් ඉසව් දෙකේම පදනම දිවීමයි

editorial - 2023 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

ඔලිම්පික් පදක්කම දිනා ගැනීම තරම් සතුටක් නව තනතුර ලැබීමෙන් තමන් අත්විඳින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමේ ක්‍රීඩා හා සංවර්ධන උපදේශිකා තනතුර ලැබූ ඔලිම්පික් පදක්කම්ලාභී හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවැසුවාය.

පෙබරවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇය මෙම ධුරයට පත් කර තිබෙන අතර නව තනතුර භාර ගනිමින් ඇය ඊයේ (3) විස්සයි-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සුභපැතීම සඳහා මේට්ලන්ඩ් පෙදෙසේ ක්‍රිකට් ආයතන මූලස්ථානයට පැමිණ සිටියාය.

මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශිකාවක් ලෙසත් දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන්නීය.

ඇය ජාතික ඔලිම්පික් කමිටුවේ උසස් දක්ෂතා ප්‍රවර්ධන වැඩ සටහනේ අධ්‍යක්ෂවරියක් ලෙසත් මීට පෙර පත්වීම් ලැබුවාය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ හිටපු උපසභාපතිවරයෙකි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරේ ඇය කටයුතු කිරීමේදී පැවැරී තිබෙන ප්‍රධානතම කාර්යය වන්නේ ක්‍රීඩිකාවන්ගේ මනස ධනාත්මකව නැංවීම සඳහා උපදෙස් ලබාදීමය.

නව තනතුර ගැන ‘ලංකාදීප’යට අදහස් දැක්වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙසේද පැවැසුවාය.

‘මෙතෙක් මට ලැබුණු තනතුරුවලින් මම වඩාත්ම සතුටුවන තනතුරත් මේකයි. ඒ සඳහා උනන්දු වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාට මම ඉහළින්ම කෘතඥතාවය පළ කරනවා. ඔලිම්පික් පදක්කම දිනා ගත්තට පස්සේ මට ඒ තරම්ම සතුටක් අද දැනෙනවා.

‘ක්‍රිකට් ක්‍රීඩාවයි මලල ක්‍රීඩාවයි එකට බැඳී යන ක්‍රීඩා දෙකක්. ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු ක්‍රමය රැඳී තිබෙන්නේ දිවීම මතයි. විශේෂයෙන්ම විස්සයි-20 ක්‍රිකට් ඉසව්වේ කෙටි ලකුණු දිවීමට විශේෂ තැනක් හිමි වෙනවා. මේ නිසා ශ්‍රී ලංකා කාන්තා පිලේ උපදේශිකා තනතුරෙන් මට සේවයක් කරන්න තරම් ලොකු විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. මට පළමු කාර්යභාරය හැටියට ලෝක කුසලාන තරගාවලියට පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මුණගැසී කතා කරන්න ලැබීම ගැන වඩාත්ම සතුටුයි.’

මේ අතර සුසන්තිකා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ඇරයුමින් එහි දිස්ත්‍රික් ක්‍රීඩා පුහුණු සංවර්ධන වැඩ සටහන් මාලාව සඳහා මේ වනවිට සිය දායකත්වය ලබා දෙමින් සිටියි. ඇය එහිදී ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ‘උතුරු මැද’ පළාතේ ක්‍රීඩා සංවර්ධන පුහුණු සැලැස්ම මෙහෙයවීම සඳහා තමාව විශේෂයෙන්ම යොමු කරන ලෙසයි. ගමට ක්‍රීඩාව ගෙන යාමට නම් ගමේ ක්‍රීඩාවට ඍජුව මැදිහත්විය යුතු නිසා තමා එම ඉල්ලීම ඇමැතිවරයාගෙන් කළ බවද ඇය එහිදී වැඩිදුරටත් පැවැසුවාය.


අදහස් (1)

මලල ක්‍රීඩා-ක්‍රිකට් ඉසව් දෙකේම පදනම දිවීමයි
  • janithaa Saturday, 04 February 2023 03:13 PM

    ආයතනයක් පාලනය කරන්න දුවන්නම පුළුවන් වෙන්න ඕනෑද? දුවන්න පුළුවන් හැම කෙනෙකුටම පාලනයට දක්ෂද? පාලනය අදාල වෙන්නේ උගත්, අවංක, තමන්ට වගේම තමන්ගේ වෘත්තියටත් ගරුකරන අය පමණයි. ඒ කිසි දෙයක්‍ට ඔබලා ගෑවිලාවත් නැහැ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.