Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාර්තුවට පෙර නිලවරණයට ඉඩක් නෑ

මාර්තුවට පෙර නිලවරණයට ඉඩක් නෑ

editorial - 2025 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය (2025 - 28) ලබන මාර්තු 31 වැනිදාට පෙර පැවැත්වීමට කිසිදු ඉඩක් නැති බවත් ඒ සම්බන්ධයෙන් තමන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පැමිණිලි කළ බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි.

ව්‍යවස්ථානූකූලව එම නිලවරණය කැදවිය හැක්කේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව බැවින් ඊට පෙර එය කැඳවීමට ගන්නා උත්සහයන්ට තමන් එරෙහි වන බවත්, ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය එහි සභාපතිවරයාගේ අනුමැතිය නොමැතිව කැඳවිය නොහැකි බවත් එහිදී ඔහු පැවසීය.

කෙසේවූවත් පසුගිය සිකුරාදා (10) සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ තහනමට ලක්ව සිටින කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ ආශිර්වාදයෙන් පසුගිය දෙසැම්බර් 13 වැනිදා කැඳවූ ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සහා රැස්වීමේදී ජාතික ක්‍රීඩා සංගම් තුනෙන් දෙකක යෝජනා සම්මතයෙන් තීරණය වූයේ එහි මීළග නිලවරණය (2025 - 29) මාර්තු 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බවයි.

ඒ සදහා නිලවරණ මෙහෙයුම් කමිටුවද මේ වන විට නිර්දේෂ කර තිබේ.ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් වන ඒ.එස් රනුග්ගේ (සභාපති), කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර හා නීතිඥ අමිත් රාජපක්ෂ යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති.

කෙසේවූවත් මහ ලේකම්වරයාට පැනවූ තහනමත් සමග කමිටුවේ පැන නැගී තිබෙන අර්බුදකාරී තත්වය වඩාත් උත්සන්නවී ඇති හෙයින් යෝජිත නිලවරණය මාර්තු 31 වැනිදාට පෙර කැදවීම වඩාත් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.

පසුගිය සිකුරාදා මහ ලේකම්වරයාට එරෙහිව පැනවූ තහනමෙන් පසු දිනම (11) ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් 20 ක් (කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් මුළු එකතුව 29 කි.) ඒකාබද්ධවී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට හා ආසියානු ඔලිම්පික් සභාවට ලිපියක් යොමු කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන වත්මන් තත්වයට වහාම මැදිහත්වීමක් කරන ලෙසයි.

ඔවුන් එහිදී කරුණු ගණනාවක් දක්වමින් යොමු කළ ලිපියෙන් වැඩි දුරටත් අවධාරණය කර සිටියේ විශේෂ මහ සභා රැස්වීමේදී ගත් තීරණ, තීන්දු ක්‍රියාත්මක කිරීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමු කරන ලෙසයි.

ඒ පිළිබදව %ලංකාදීප’යට වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසුවේ එකී ජාතික ක්‍රීඩා සංගම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලිවීමෙන් ඔවුන්ට අදාළ නොවන කටයුත්තකට මැදිහත්වී තිබෙන බවයි.

”ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වගේම ආසියානු ඔලිම්පික් සහාව මෙවැනි අවස්ථාවකදී ඒ රටේ ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාට හැරෙන්න වෙනත් පාර්ශ්ව වලට ප්‍රතිචාර දක්වන්නේ නෑ යයිද සුබ්‍රමනියම් මහතා පැවසීය.

මේ අතර ටොරිංටන් පෙදෙසේ ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ පාලනය සිකුරාදා සිදුවීමෙන් පසුව සභාපතිවරයාගේ සෘජු පාලනයට ගෙන තිබේ.එහි ස්ථාපිත මහ ලේකම්වරයාගේ කාර්යාලය මුද්‍රා තැබීමටද ඔහු උපදෙස් ලබාදී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා හා මහ ලේකම්වරයා අතර වසරකට වැඩි කාලයක් තිස්සේ එහි පරිපාලනය සම්බන්ධයෙන් පැන නැගී ආ අර්බුදය මෑතකදී උත්සන්නවීම එහි වත්මන් අර්බුදයට හේතුවයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය ලබා දුන් (නිර්දේශ) වාර්තාවක් පදනම් කර ගනිමින් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් මහ ලේකම්වරයාට එරෙහිව ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවන බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් සභාපතිවරයාගේ දැඩි විරෝධය මහ ලේකම්වරයාට පළවී තිබුණි.

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් පැන නැගී තිබෙන වත්මන් අර්බුදකාරී තත්වය කෙරෙහි අවධානය යොමු කරමින් පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ඊට ලබා දෙන ප්‍රතිපාදන හා අරමුදල් සීමා කර තිබේ.


අදහස් (0)

මාර්තුවට පෙර නිලවරණයට ඉඩක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.