Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මියන්මාරය වසර 15 කට පසුව ශ්‍රී ලංකාවට මුණ ගැසෙයි

මියන්මාරය වසර 15 කට පසුව ශ්‍රී ලංකාවට මුණ ගැසෙයි

editorial - 2024 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කාම්බෝජය පරාජය කිරීමෙන් උද්දාමයට පත්ව සිටින ශ්‍රී ලංකාව මියන්මාරය සමග ජාත්‍යන්තර  පාපන්දු  තරග දෙකකට සූදානම් වෙයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි පාපන්දු  ප්‍රවර්ධන කටයුතු සදහා  මේ වන විට කටාර් රාජ්‍යයට ගොස් සිටින ශ්‍රී ලංකා පාපන්දු  ආයතනයේ  සභාපති  ජස්වර් උමාර් මහතා ඊයේ (17)   එහි සිට ලංකාදීපයට  පැවැසුවේ ලබන ඔක්තෝබර් 7 වැනිදා  සිට 15 වැනිදා  දක්වා වන කාල සීමාව තුළ දින දෙකක් ඒ සදහා යොදා ගන්නා බවයි.

මියන්මාරය සත්කාරකත්වය දරමින් දෙරට අතර එකී ජාත්‍යන්තර  පාපන්දු  තරග දෙක යන්ගුන්  නුවරදී පැවැත්වීමට දැනට ඒ සම්බන්ධයෙන්  කෙරෙන සාකච්ඡා වලදී සැලසුම් කරමින් තිබෙන බවත් ජස්වර්  මහතා එහිදී  පැවැසීය.

මියන්මාරය ශ්‍රී  ලංකාවට ජාත්‍යන්තර  පාපන්දු  තරග බිමේ අවසන් වරට මුණ ගැසී  ඇත්තේ වසර 2010 දීය. කොළඹදී  පැවැති ආසියානු  කුසලාන (2010))  කලාප නිර්දේශ  තරග වටයේදී මියන්මාරය ගෝල  4 - 0 කින් ශ්‍රී  ලංකාව පරාජය කිරීමට සමත්වී තිබේ.

කොළඹදී  නොබෝදා නිමාවට පත්වූ ආසියානු  කුසලාන (2027 - රියාද්) මුල් වටයේ  පරාජිතයන්  සදහා  හදුන්වා  දුන් ඉදිරියට යාමේ තෙවැනි වටයේදී කාම්බෝජය  පරාජය කරමින් ශ්‍රී  ලංකාව දැක්වූ දක්ෂතා සැළකිල්ලට ගනිමින් මියන්මාර තරග සංචාරය  සැළසුම්  කෙරෙන බව ශ්‍රී ලංකා පාපන්දු  ආයතනයේ  සභාපතිවරයා වැඩිදුරටත්  පවසයි.

එම  විශිෂ්ට  ජයග්‍රාහණය හමුවේ ශ්‍රී  ලංකාවට ඉදිරි ආසියානු  කුසලාන පාපන්දු  තරගාවලියට නැවැත අවතීර්ණවීමට සමත්ව සිටියි.ඒ අනුව ලබන (2025) මාර්තු  25 වැනිදා  සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබෙන එහි ඉදිරි තරග වටයට ශ්‍රී ලංකාව නිර්දේශ ලබා ගැනීමටද සමත් විය.

කාම්බෝජය  සමග දෙරට අතර කොළඹදී  පසුගිය සැප්තැම්බර් 5 වැනිදා  පැවැති පළමු තරගය ගෝල 0 - 0 කට ජයපරාජයෙන් තොරව අවසන් විය. පොන්ම් - පෙන් නුවරදී  පැවැති දෙරට අතර සැප්තැම්බර් 10 වැනිදා පැවැති දෙවැනි තරගය තියුණු මුහුණුවරක්  නිමාවේදී ශ්‍රී ලංකාව දඩුවම් පගර 4 - 2 කට ජය ගැනීමට සමත් විය.

මෙසේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර  පාපන්දු  තරගයක් ජය ගත්තේද මෙම වසරේදීම  භූතානය (2 - 0) පරාජයට පත් කිරීමෙන් පසුවයි.

පොන්ම්  - පෙන් තරග සංචාරයෙන් පසුව ශ්‍රී  ලංකා ජාතික පාපන්දු  සංචිතයේ  ක්‍රීඩකයනට නිවාඩු ලබාදීමට ශ්‍රී ලංකා පාපන්දූ  ආයතනය කටයුතු කර තිබේ.මියන්මාර් තරග සංචාරය තහවුරු කර ගැනීමත් සමග පුහුණු සංචිතය යළි කැදවීමට කටයුතු කෙරේ.

 ශ්‍රී ලංකාව කාම්බෝජය පරාජය කිරීමෙන් හෙට (19) සීදු කිරීමට නියමිත නවතම ලෝක පාපන්දු  (පිරිමි  - කණ්ඩායම්) ශ්‍රේණිගත  කිරීම් අනුව උසස්වීමක් අපේක්ෂා  කරයි. ඒ අනුව දැනට පසුවන  205 වැනි ස්ථානයේ  සිට  අවම 200 වැනි ස්ථානයට පැමිණීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවවී තිබේ.

 ආසියානු  ශ්‍රේණිගත  කිරීම් අනුවද ශ්‍රී ලංකාව දැන් පසුවන්නේ  අවසන් (47) වැනි ස්ථානයේය.ශ්‍රී ලංකාව මුණ ගැසීමට අපේක්ෂාවෙන් පසුවන මියන්මාර් ජාතික පාපන්දූ  කණ්ඩායම   මෙම  වසරට මේ දක්වා ජාත්‍යන්තර  තරග හතකට සභාභාගිවී සිරියාව  සමග යන්ගුන් නුවරදී  පැවැති දෙරට  අතර  ලෝක කුසලාන( 2026)  කලාපීය නිර්දේශ වටයේ පළමු  තරගය ජයපරාජයෙන් තොරව (1 - 1) අවසන් කර ඇත.

එහෙත් අනතුරුව  ඩමාම් නුවරදී  දෙරට  අතර පැවැති තරගයෙන් මියන්මාරය ගෝල 7 - 0 කින් පරාජයට පත්ව තිබේ.මෙම  වසරට මියන්මාරයට තවත්  සැළසුම් කළ ජාත්‍යන්තර  තරග හයක් ඉතිරිව තිබේ.යන්ගුන් නුවරදී මෙම වසරේදී පැවැති පුහුණු තරග දෙකකදී එරට ප්‍රකට වෘත්තීය  මට්ටමේ පාපන්දු  ක්‍රීඩා  සමාජ දෙකක් වන තිට්සාර් ආමන් හා මියාවඩි පරාජය කර තිබේ.

 මියන්මාරය මේ වන විට ලෝක පාපන්දු  ශ්‍රේණිගත කිරීම් අනුව 166 වැනි ස්ථානයේ පසුවේ.ආසියානු  ශ්‍රේණිගත කිරිම් අනුව  34 වැනි ස්ථානයේ පසුවේ.

මේ අතර ශ්‍රී ලංකා  පාපන්දු  කණ්ඩායමේ  වැඩබලන පුහුණුකරු  කුවේට්  ජාතික අබ්දුල්ලා  මහතා තවදුරටත්  ශ්‍රී ලංකා කණ්ඩායමේ  සේවයේ තබා ගන්නේද යන්න පිළිබදව ඉදිරියේදී  අවසන් තීරණයක් ගන්නා බව ජස්වර් උමාර් මහතා පවසයි.


අදහස් (0)

මියන්මාරය වසර 15 කට පසුව ශ්‍රී ලංකාවට මුණ ගැසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.