යුද හමුදාව පළමු ජයග්‍රහණය ලබාගනී
පළමු භාගය නිමාවෙද්දී සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ දරුණු පසුබෑමකට ලක්ව සිටියත් දෙවැනි භාගයේදී පෙරළිකාර ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායම අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සති අන්තයේ තරගයේදී ලකුණු 20-15 කින් ප්‍රතිවාදින් පරදවා සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.
අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි ඉතිහාසයේ පිට පිට තරග 29කින්ම පරාජයට පත්වී ජයග්‍රහණ ඉඩෝරයකට හසුවී සිටින සී.එච්. පිලේ නියඟය තවදුරටත් එලෙසින්ම රඳවා තැබූ යුද හමුදා පිල දෙවැනි භාගයේදී සැලසුම් සහගතව ක්‍රීඩා කළ අතර සුධාරක දික්කුඹුර තැබූ තීරණාත්මක උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ ගයාන් සාලින්ද යුද හමුදා පිල ලකුණු 17-15කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය. ඉන් නොනැවතී දඬුවම් පහරක් ද සාර්ථක කරමින් තරගයේ ජයග්‍රහණය යුද හමුදා පිලට තහවුරු කර දුන්නේය.
යුද හමුදා පිලේ විශ්වාසවන්තම ක්‍රීඩකයා බවට පත්වී සිටින ගයාන් සාලින්ද තරගයේ ලකුණු ලබාගැනීම ආරම්භ කරමින් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමග ලකුණු 3-0කින් පෙරමුණ ගැනීමට සමත්විය. එහෙත් ඊට මොහොතකට පසුව යුද හමුදා පිලේ ආරක්ෂක වළල්ල බිඳ දමා ඉදිරියට ඇදී ගිය ඉරංග ආරියපාල අගනා උත්සාහක දිනුමක් තබමින් තම පිලට පෙරමුණ ගෙන දුන්නේය. එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරිමට ලද අවස්ථාව සැමුවෙල් මධුවන්ත වෙතින් ගිලිහී ගියේය.
කරට කර සටනක නිරතවූ යුද හමුදා පිල නැවතත් පෙරමුණ ගැනීමට සමත්වුයේ ශෙහාන් සිල්වා තැබූ අගනා උත්සාහක දිනුමත් සමගිනි. එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ ගයාන් සාලින්ද යුද හමුදා පිල ලකුණු 10-5කින් ඉදිරියට ගෙන ගියේය.
මොහොතකට පසුව යුද හමුදා පිලේ තුරුෂ අධිකාරම් නීති විරෝධී ක්‍රීඩා රටාව නිසා තරග තීරකවරයාගේ උදහසට ලක්ව කහ කාඞ්පතේ දඬුවමකින් පිටියෙන් ඉවත්වීමේ වාසිය කදිමට ප්‍රයෝජනයට ගත් සී.එච්. පිල ලකුණු 12-10කින් පෙරමුණ ගත්තේ හේෂාන් මධුරංග තැබූ අගනා උත්සාහක දිනුම මධුවන්ත විසින් ප්‍රවර්ථනය කරනු ලැබීමත් සමගය. පළමු භාගය නිමාවට පෙර ලද දඬුවම් පහරත් ඔහු විසින්ම සාර්ථක කරගැනීමත් සමග ලකුණු 15-10කින් ඉදිරියට යාමට සී.එච්.පිලට හැකිවිය.
දෙවැනි භාගයේ විස්මයජනක ලෙස යුද හමුදාව ලකුණු 17-15කින් පෙරමුණ ගැනීමෙන් පසුව තම කණ්ඩායම වෙතින් ගිලිහී ගිය තරගයේ පෙරමුණ නැවත අත්පත් කරගැනිමට අවසන් මොහොත දක්වාම සී.එච්. පිල ගත් වෑයම ව්‍යාර්ථ කළ යුද හමුදා පිලට තවත් දඬුවම් පහරක් සාර්ථක කර දුන් ගයාන් සාලින්ද ලකුණු සංඛ්‍යාව 20-15ක් ලෙස ඉදිරියට ගෙන යමින් ස්වර්ණමය ජයග්‍රහණයක සතුට සිය කණ්ඩායමට අත්කර දුන්නේ ඊළඟ තරගයට කදිම උත්තේජනයක් ද ලබා ගනිමිනි.
- 077