Last Update  :  2025-03-31 15:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූර හයිසින්ත්ට–ප්‍රසාදිට

යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූර හයිසින්ත්ට–ප්‍රසාදිට

editorial - 2025 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික යොවුන් (වයස 21 න් පහළ) දැල්පන්දු (නෙට්බෝල්) පුහුණුකරු ධූරයට හයිසින්ත් විජේසිංහ මහත්මියත්, එහි සහාය පුහුණුකරු ධූරයට පී.ඩී.එන්. ප්‍රසාදි මහත්මියත් නිර්දේෂ කර තිබේ.

 එම පත්වීම් සදහා නිර්දේෂ කිරීම් සිදු කළේ ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ ප්‍රධානී සජිත් ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් විසිනි.ඒ සදහා ඉදිරිපත්වූ අයැදුම්කරුවන් අතරින් සම්මුඛ පරීකෂණයේදී වැඩිම ලකුණුලාභීන් වෙමින් ඔවුන් ඒ සදහා නිර්දේෂවී සිටියි.

මෙම පත්වීම් සදහා නිර්දේශ ලැබූ ඇයදුම්කාරිණියන් දෙදෙනාම මීට පෙර ජාතික (ජ්‍යෙෂ්ඨ) දැල්පන්දු පුහුණුකරු ධූරයේ කටයුතු කර තිබෙන එමෙන්ම ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවන් ලෙසත් කටයුතු කළ කේෂ්ත්‍රයේ ප්‍රවීණතමයෝ වෙති. හයිසින්ත් විජේසිංහ මහත්මිය කලක් සිංගප්පූරුවේද ජාතික දැල්පන්දු පුහුණුකරු ධූරයේ කටයුතු කර තිබේ.

 නව පත්වීම් ලබන පුහුණුකරුවන්ට පැවරෙන ප්‍රධානතම වගකීම් වන්නේ මෙම වසරේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු යොවුන් තරගාවලිය හා එහි ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායම සූදානම් කිරීමයි.

 ජූනි 14 වැනිදා සිට 21 වැනිදා දක්වා දකුණු කොරියාවේදී ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය පැවැත්වේ.මීළග ලෝක ශූරතා යොවුන් තරගාවලිය පැවැත්වෙන්නේ ලබන සැප්තැම්බර් 19 වැනිදා සිට 28 වැනිදා දක්වා ජිබොල්ටාවේදීය.

 එම තරග සංචාර ඉලක්ක කරමින් ජාතික යොවුන් දැල්පන්දු සංචිතය තෝරා ගැනීමේ පළමු පරීක්ෂණය ලබන සෙනසුරාදා (8) කැළණිය විශ්වවිද්‍යාල පිටියේදී පැවැත්වේ.

 මේ වන විට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ කටයුතු එහි නිලවරණය (2024 -25) කැදවීමට ගත් උත්සහයේදී උද්ගතවූ පරිපාලන ආරවුල් හේතුවෙන් පසුගිය ජූනි 01වැනිදා සිට අත්හිටුවා තිබේ.ඒ වෙනුවට ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් දැල්පන්දු සම්මේලනයේ කටයුතු පවත්වා ගෙන යාම සදහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

 සම්මුඛ පරීක්ෂණය මෙහෙයවූ කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සජිත් ජයලාල් මහතා පැවැසුවේ එය වඩාත් විනිවිදභාවයෙන් සිදු කිරීම සදහා ලකුණු ලබාදෙන ක්‍රමවේදය පිළිබදව සම්මුඛ පරීක්ෂණය කැඳවීමට පෙරම ඇයදුම්කරුවන් දැනුවත් කර සිටි බවයි.


අදහස් (0)

යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූර හයිසින්ත්ට–ප්‍රසාදිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.