Last Update  :  2025-03-31 17:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූරයට තුන් කොන් සටනක්

යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූරයට තුන් කොන් සටනක්

editorial - 2025 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සදුදා (17) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජාතික යොවුන් දැල්පන්දු (නෙට්බෝල්) පුහුණුකරු ධූරය නිර්දේශ කෙරෙන සම්මුඛ පරීක්ෂණය සදහා අපේක්ෂිකාවෝ තිදෙනෙක් අයැදුම් කර ඇත.

එහිදී සහය පුහුණුකාරිනියක්ද නිර්දේශ කෙරෙන අතර එම ධූර දෙකට  අයැදුම්පත් ඉදිරිපත් කළ අය අතර මීට පෙර කටයුතු කළ ජාතික (ජ්‍යෙෂ්ඨ) දැල්පන්දු පුහුණුකාරිනියන් දෙදෙනෙකු සිටීම කැපී පෙනේ.

හයිසින්ත් විජේසිංහ හා දීපි ප්‍රසාදි යන මහත්මීහු වෙති. ප්‍රසාදි මහත්මිය අයැදුම් කර ඇත්තේ සහාය පුහුණුකරු ධූරය සදහාය. අවසන් වරට 2023 වසරේදී කොරියාවේදී පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ කටයුතු කළ අමල්කා ගුණතිලක හා මීට පෙර කනිෂ්ඨ පුහුණුකාරිනියක් ලෙස කටයුතු කර තිබෙන බදුල්ල දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීනී කුමාරි ගමගේ යන මහත්මීන්ද මෙහිදී  ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා අයැදුම් කර තිබේ.

සහය පුහුණුකරු ධූරය සදහා අයැදුම් කළ සෙසු අය අතර ජයන්ති සෝමසේකරම්, රුවනී යටිගම්මන, දීප්ත සෙනරත් බන්ඩාර යන මහත්ම මහත්මීහු ඇතුළු කීප දෙනෙක්ද වෙති.

මෙවර අයැදුම්කරුවෙකුත් සහාය පුහුණුකරු ධූරයට ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ. දීප්ත බන්ඩාර මහතා ජාත්‍යන්තර දැල්පන්දු විනිසුරුවරයෙක් වන අතර නාවික හමුදා දැල්පන්දු කණ්ඩායමේ වත්මන් පුහුණුකරුවායි.

ජාතික යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූරය පිරවීමේ අරමුණ වන්නේ මෙම වසරට ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිත ප්‍රධානතම ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලි දෙකකි.

දකුණු කොරියාවේදී ලබන ජූනි 14 වැනිදා සිට 21 වැනි දක්වා පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය හා ජිබොල්ටාවේදී සැප්තැම්බර් 19 සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියට නිර්දේශ කෙරෙන ශ්‍රී ලංකා ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායම්හි සේවය සදහා පත්වීම් ලබන නව යොවුන් පුහුණුකරු හා සහාය පුහුණුකරු යොදා ගැනේ.

සදුදා පෙරවරු 10 ට ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා විද්‍යාතනයේදී පැවැත්වෙන ජාතික යොවුන් දැල්පන්දු පුහුණුකරු නිර්දේශ කිරීමේ සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන්නේ එහි අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතාය.ඔලිවියා ගමගේ,ආශා පෙරේරා, පද්මා බැද්දේවෙල හා වෛද්‍ය ප්‍රදීප් කිරිඇල්ල යන මහත්මීන්හු සෙසු සාමාජිකාවෝ ලෙස කටයුතු කරති.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය මේ වන විට ක්‍රියාත්මක නොවන බැවින් එහි කටයුතු භාර නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.කෙසේවූවත් ඉහත තරග සංචාර දෙක වෙනුවෙන් ජාතික යොවුන් දැල්පන්දු සංචිතය කැදවීමට ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් පියවර ගෙන නැත.

ඒ අතර දැල්පන්දු ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සදහන් කරන අන්දමට ජාතික යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූරය නිර්දේශ කිරීම සදහා හඳුන්වාදී තිබෙන බව කියන ලකුණු ක්‍රමවේදයට ඇතැම් අයැදුම්කාරියන්ගේ විරෝධය පළවී තිබේ. ඔවුන් ඒ සම්බන්ධයෙන් ඉහළට විරෝධතාවයක් ගොනු කිරීමට සූදානම් වන බවද එහිදී  වැඩිදුරටත් වාර්තාවේ.

අයැදුම්කරුවන්ගේ ප්‍රායෝගික සුදුසුකම් වලට වඩා එහිදී විභාග හා පාඨමාලා කෙරෙහි වඩාත් අවධානය යොමු කර ඇතැයිද එහිදී පැවැසේ.මෙය ඇතැම් අපේක්ෂකයන් ඉලක්ක කරමින් සූදානම් කළ බවටද ඔවුන්ගෙන් වැඩිදුරටත් චෝදනා එල්ලවී තිබේ.

අවසන් වරට කොරියාවේදී පැවැති 12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ තෙවැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු යොවුන් දැල්පන්දු  කුසලාන දිනා ඇත්තේ 2015 (හොංකොං) වසරේදීය.මේ වන විට තෙවරක් ශ්‍රී ලංකාව ශූරතාව දිනා ඇත.පස් වතාවක් අනුශූරතාව හිමි කර ගෙන තිබේ.

 


අදහස් (0)

යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූරයට තුන් කොන් සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.