Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලයන්ස් පිල ඉදිරියටම

ලයන්ස් පිල ඉදිරියටම

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලාංකික ගෝල රකින්නාගේ ඉහළ දක්‍ෂතා හමුවේ ‘මොස්කව්’ නුවර දී පැවැති මිතුදම් ළමා ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ දී ‘කීෆුන්ජී’ කණ්ඩායම ගෝල 3/0 කට පරාජය කරමින් එහි තවදුරටත් ඉදිරියට යාමට ‘ලයන්ස්’ කණ්ඩායම සමත් විය.

කෙසේ වුවත් ශ්‍රී ලාංකික ගෝල රකින්නා වන දිනුක බණ්ඩාර ක්‍රීඩා කළ ‘ලයන්ස්’ කණ්ඩායම එහි සිය පළමු තරගයට සහභාගි වෙමින් ‘රයිනා’ කණ්ඩායම හමුවේ ගෝල 1-0 ක පරාජයක් ලැබීය.

රටවල් 211 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම් 32 ක් අතර පැවැත් වූ මෙම ‘මිතුදම්’ ළමා පාපන්දු තරගාවලියේ අවසන් වටයේ තරගවලින් අනතුරුව අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

නව වැදෑරුම් දැක්මක් ඔස්සේ මෙම තරගාවලිය සංවිධානය කිරීමේ දී ලෝක පාපන්දු සමුළුව කණ්ඩායම් හැඳින්වීමට ලෝකයේ විරල සත්ව වර්ග ගණනාවකගේ නම් යොදා ගැනීම කැපී පෙණුනි.

‘මොස්කව්’ නුවර ‘සප්සාන් ඇරේනා’ (Sapsan Arena) ක්‍රීඩාංගණයේ දී ඒ සඳහාම සහභාගි වී පැමිණි විදෙස් මාධ්‍යවේදීන් හැරෙන්නට ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආවරණය කිරීම සඳහා එහි ඒ වන විට ළඟාවී සිටි මාධ්‍යවේදීන් අති විශාල පිරිසක් මිතුදම් පාපන්දු තරගාවලියේ මාධ්‍ය ආවරණයට සහභාගිවී සිටීම කැපී පෙණුනි.

නුගේගොඩ ශාන්ත ජෝශප් විදුහලේ සිසුවෙකු වන නිපුණ බණ්ඩාර කෘතිම තණ තීරුවකින් සමන්විත ‘සප්සාන් ඇරේනා’ ක්‍රීඩාංගණයේ දී විනාඩි 20කට පමණක් සීමා වූ මිතුදම් පාපන්දු තරගාවලියේ එතෙක් සහභාගි වූ තරග දෙකේදීම ප්‍රතිවාදීන්ගේ ගෝල ගණනාවක්ම ආවරණය කරමින් දස්කම් දැක්වීම කැපී පෙණුනි.

ඒ පිළිබඳව ඔහු ‘ලංකාදීප’යට පැවසුවේ කෘතිම තණ තීරුවක ක්‍රීඩා කිරීම තමන්ට අලුත් අත්දැකීමක් වුවත් තමන් විශේෂයෙන්ම දෙවැනි තරගයේ දී වඩාත් හොඳින් ක්‍රීඩා කළ බව සිතට දැනුන බවත්ය.

මෙම තරගාවලිය දෙස බැලීමේ දී ලෝක පාපන්දු ක්‍රීඩාවේ වත්මන් දියුණු තත්ත්වය තමන්ට මනාව අවබෝධ වූ බවත් ඒ අනුව පාපන්දු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව තවත් කොතෙක් දුරක් යා යුතුදැයි තමාට පසක් වූ බව ද ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකාවෙන් ‘මිතුදම්’ පාපන්දු තරග වැඩසටහනට සහභාගි වී සිටින සෙසු සිසුවා වන කොළඹ රාජකීය විදුහලේ අයන් අන්වර් සඳුන් මොස්කව් නුවර දී එහි සන්නාම තානාපතිවරුන්ගේ වැඩමුළුවකට සහභාගි වේ. මෙම සංචාරයට අයත් සඳුන් පැමිණ සිටින්නේ ද එහි සන්නාම තානාපතිවරයෙකු ලෙස වැඩමුළුවේ දී කටයුතු කිරීම සඳහාය.

එයින් අනතුරුව ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනකු ද සහභාගි වූ මිතුදම් ජාත්‍යන්තර පාපන්දු වැඩසටහන අද නිමාවට පත් වේ. එයින් පසුව හෙට ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගය නැරඹීමේ අවස්ථාව ඔවුන්ට හිමිව තිබේ.

සත්කාරක රුසියාව හා සෞදි අරාබියාව අතර එම තරගය මොස්කව් නුවර ‘ලුස්නිකි’ ඕලිම්පික් ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී එම තරගය පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනාගේ පෙරළා දිවයිනට ළඟාවීම එයින් අනතුරුව ලබන සෙනසුරාදා (16) සිදුවීමට නියමිතය.

තරගකාරීත්වය ඉවත් කරමින් සහභාගීත්වය තුළින් ‘ලෝක සාමය’ වඩාත් ශක්තිමත් කිරීම සඳහා මෙම වැඩසටහන මෙතැන් පටන් ලෝක පාපන්දු තරගාවලියට සමගාමීව සංවිධානය කෙරෙන බව ලෝක පාපන්දු සමුළුව ප්‍රකාශ කරයි.


අදහස් (0)

ලයන්ස් පිල ඉදිරියටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.