Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වසර 21 කට පසු ප්‍රගතියක්
ආසියානු ක්‍රීඩා 2023

වසර 21 කට පසු ප්‍රගතියක්

editorial - 2023 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රන් පදක්කම් 200 සීමාව (201) ඉක්මවායමින් මුළු පදක්කම් 383 ක් දිනාගත් සත්කාරක චීනය ඊයේ (08) හංජෝ නුවරදී නිමාව දුටු 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමස්ත ජයග්‍රාහකයා බවට පත්විය. එහිදී ශ්‍රී ලංකාව ක්‍රීඩා ඉසව් 21 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96 දෙනෙකුගේ කණ්ඩායමක් ඊට සහභාගි කරමින් මලල ක්‍රීඩාවෙන් එක් රන් පදක්කමක්, එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක්ද ක්‍රිකට් (කාන්තා) ඉසව්වෙන් රිදී පදක්කමක්ද දිනාගැනීමෙන් ක්‍රීඩා උළෙලේ 23 වැනි ස්ථානයට පත්විය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව දිනාගත් මීටර 4x400 (මිශ්‍ර) සහය දිවීමේ පදක්කම අවලංගු කිරීමෙන් 2002 ‘‘බූසාන්’’ ක්‍රීඩා උළෙලෙන් පසුව පදක්කම් හයක් දිනාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

ඒ අතර ශ්‍රී ලංකාව පදක්කම් කෙරෙහි ඉහළම විශ්වාසය තබා සිටි ක්‍රිකට් (පිරිමි) ඉසව්වේ එම අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමිව ගියේ තරගාවලියේ මුහුණදුන් පළමු තරගයෙන්ම (අර්ධ අවසන් පූර්ව වටය) අනපේක්ෂිත ලෙස ඇෆ්ගනිස්ථානයට පරාජය වීමෙනි.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීට පෙර අවසන් වරට ක්‍රිකට් (විස්සයි - 20) ඉසව්ව ඇතුළත් කර තිබූ 2014 ඉංචියොන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ක්‍රිකට් (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරම් වාසනාවන්ත විය.

ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මේ දක්වා ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් වැඩිම පදක්කම් දිනා තිබේ. මෙවරත් එය තහවුරු කරමින් මලල ක්‍රීඩාවෙන් වැඩිම පදක්කම් හිමිකර ගැනීමට වසර 21කට පසුව මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට මීටර 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කමක් දිනාදුන් වලල ඒ. රත්නායක මැදි විදුහලේ සිසුවියක් වන 18 හැවිරිදි තරුෂි දිල්සරා කරුණාරත්න දෙස් විදෙස් ඉහළම අවධානය දිනාගත්තාය.

ඒ අතර වසර 17කට පසුව ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් පළමු පදක්කම ලෙස හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට 36 හැවිරිදි ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වූවාය.

මෙදා ‘හංජෝ’ ක්‍රීඩා උළෙලේ දක්ෂතාත් සමග ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා මෙතෙක් දිනා ඇති මලල ක්‍රීඩා පදක්කම් ගණන 31කි. ඉන් 11ක් රන් පදක්කම්ය. ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩා ඉසව් 7කදී පදක්කම් දිනා ඇතත්, මලල ක්‍රීඩා ඉසව්ව හැරෙන්නට රන් පදක්කම් දිනා ගත් සෙසු එකම ක්‍රීඩා ඉසව්ව බවට පත්ව ඇත්තේ, වසර 2010 දී තරම් මෑත කාලයේදී හඳුන්වා දුන් ක්‍රිකට් (විස්සයි-20) ඉසව්වෙන් වීම කැපී පෙනෙන සිදුවීමකි.

ශ්‍රී ලංකාව මෙවර පදක්කම් පහක් දිනීමේදී එය 2002 ‘බූසාන්’ ක්‍රීඩා උළෙලෙන් පසුව ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් දිනා ගත් අවස්ථාවක් ලෙස සනිටුහන් වේ. 2002 ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක්, එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 3ක් (එකතුව 6) දිනාගෙන තිබේ.

 

පදක්කම්ලාභී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් සමග


අදහස් (0)

වසර 21 කට පසු ප්‍රගතියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.