Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයාට දිමුත් යෝජනා වෙයි
ටෙස්ට් ක‍්‍රිකට්

වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයාට දිමුත් යෝජනා වෙයි

editorial - 2021 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් සංවිධානය කරන 2021 වසරට අදාල සම්මාන ප‍්‍රධානෝත්සවයේ වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තෝරා ගැනීම සඳහා කැඳවූ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ද ඇතුළත්ව සිටියි. එහිදී එංගලන්ත නායක ජෝ රූට්, ඉන්දීය ක‍්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සහ නවසීලන්ත ක‍්‍රීඩක කයිල් ජේමීසන් ඒ සඳහා නිර්දේශ වූ සෙසු ක‍්‍රීඩකයෝ වෙති.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුල ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මේ සම්මාන උළෙල පැවැත්විමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය ලබාදෙන දිමුත් කරුණාරත්න මේ වසරේදී සිය දක්ෂතා අතර ඉහළින්ම වැජඹෙමින් මේ වන විට ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හොඳම ආරම්භක පිතිකරුවා ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන ඇත. ඒ අනුව තරග ටෙස්ට් තරග 7 කදී ශතක 4 ක් සමගින් ලකුණු 902 ක් රැස්කරගෙන ඇති කරුණාරත්නගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 69.38 කි.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී ලබාගත් ශතකයක්, බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේහිදී පැවැති තරග දෙකකදී ද්විත්ව ශතකයක් ඇතුළුව ලබාගත් ශතක දෙකත් සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ගාල්ලේදී ලබාගත් ශතකයත්, මේ වසර තුලදී කරුණාරත්නගේ විශිෂ්ට පිතිහරඹ අවස්ථා කිහිපයක් විය.

වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සඳහාවූ ඉදිරිපත්වූ අනෙකුත් නාමයෝජනා අතර දිමුත් කරුණාරත්න සමගින් කරට කර සටනක නිරත වන පිතිකරු ජෝ රූට් තරග 15 කදී ශතක 6 ක් සමගින් ලකුණු 1708 ක් ලබාගෙන  ඇත.

මේ වසරේ විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජෝ රූට්ගේ එක් වර්ෂයක් (ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා) තුළ ටෙස්ට් ලකුණු 1700 සීමාව පසු කළ තුන්වන ක‍්‍රීඩකයා ලෙස ඉතිහාසගත විය. ඔහුට ඉදිරියෙන් මොහොමඞ් යූසුෆ් සහ ශ‍්‍රීමත් විවියන් රිචඞ්ස් පමණක් සිටිති.

නාමයෝජනා සඳහා නිර්දේශවී ඇති එක්ම දඟපන්දු යවන්නා වූ ඉන්දීය ක‍්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් මේ වසර තුල තරග 8 කදී කඩුලූ 52 ක් බිඳහෙළමින් කඩුලූ ලබාගැනීමේ සාමාන්‍යය 16.23 ක් ලෙස රඳවාගෙන ඇත. එක් ශතකයක් සමගින් ලකුණු 337 ක් රැස්කර ඇති අශ්වින්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 28.08 කි.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුල විශිෂ්ඨතම තරඟ ජයග‍්‍රාහකයෙකු වන රවිචන්ද්‍රන් අශ්වින් නැවතත් මේ වසරේදී ලොව හොඳම දඟපන්දු යවන්නන්ගෙන් කෙනෙකු ලෙස සිය දක්ෂතා තහවුරු කළේය.

දකුණතින් පන්දුව හසුරුවන නවසීන්තයේ වේගපන්දු යවන ක‍්‍රීඩක කයිල් ජේමීසන් මෙවර වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සඳහා වූ නාමයෝජනා අතර එක්ව එකම වේගපන්දු යවන්නා බවට පත්විය.

තරග 5 කදී කඩුලූ 27 ක් දවාගෙන ඇති ජේමීසන් මේ වසරේ පැවැති ලෝක ටෙස්ට් ශූරතාවලියේදී නවසීලන්තය ජයග‍්‍රහණය කරවීම සඳහා විශාල වැඩකොටසක් සිදුකළ පන්දු යවන්නෙකි.

සම්මාන ප‍්‍රධානෝත්සවයේ එක් එක් කාණ්ඩය සඳහා වන නිර්දේශිත ජයග‍්‍රාහකයින් ජනවාරි මාසයේදී ප‍්‍රකාශයට පත් කරනු ලැබේ.

අයි.සී.සී. වසරේ නිල කණ්ඩායම ජනවාරි 17 සහ 18 යන දිනවල ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අදාළ ඒක පුද්ගල සම්මාන ජනවාරි 23 වැනිදා ප‍්‍රකාශයට පත් කෙරේ. පිරිමි සම්මාන මෙන්ම ක‍්‍රීඩාවේ ජීවගුණය රැකගත් කණ්ඩායම සහ වසරේ විනිසුරු සම්මානය ජනවාරි 24 දින ප‍්‍රකාශයට පත් කෙරේ.

 


අදහස් (0)

වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයාට දිමුත් යෝජනා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.