Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විරේන් අද තරග බිමට

විරේන් අද තරග බිමට

editorial - 2024 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට)

ප්‍රංශයේ  පැරිස්  නුවරදී  ඊයේ (26) ආරම්භ වූ 33 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල් ශ්‍රී  ලංකාවේ තරග වැදීම හෙට (28) සිට ආරම්භ වේ.ඒ සදහා ශ්‍රී  ලංකාවෙන් පළමුව අවස්ථාව හිමිව ඇත්තේ බැඞ්මින්ටන්  ක්‍රීඩක  විරේන් නෙත්තසිංහටය.

ශ්‍රී  ලංකාවෙන් මෙතෙක්  ඔලිම්පික්  උළෙලකට තේරුණු ළාබාලතමයා වන  21  හැවිරිදි   විරේන්  පැරිස්  ඔලිම්පික්  බැඞ්මින්ටන් කේවල (පිරිමි) ඉසව්වේ මූලික වටයේදී මුණ ගැසෙන ප්‍රතිවාදී ක්‍රීඩකයන් දෙදෙනාම ලෝක බැඞ්මින්ටන් පිටියේ නම් දැරුවෝ වෙති.

එහිදී මලයාසියානු ක්‍රීඩක 26 හැවිරිදි  ලී ෂී ජියා විරේන්ට හෙට ශ්‍රී  ලංකා වේලාවෙන්  පස්වරු 1.40 ට  ( ප්‍රංශ වේලාවෙන් පෙරවරු 10.10 ට) ඉසව්වේ මූලික  වටයේ සිය පළමු තරගයේදී මුණ ගැසේ.මෙම මලයාසියානු  ක්‍රීඩකයා මේ වන විට ලෝක ශ්‍රේණිගත  කිරීම් අනුව හත් වැනි ස්ථානයේ පසුවන ආසියානු රන් පදක්කම්ලාභීයෙකි. ගිය වර   (2021) ටෝකියෝ ඔලිම්පික් උළෙලටද නිර්දේශ  ලැබූවෙකි.

මෙයින් පසුව ඔහුට  මූලික වටයේදී දෙවනුව  මුණ ගැසීමට නියමිත  ස්පාඤ්ඤයේ  ඇබින් පැබ්ලෝ පැරිස් ඔලිම්පික් සමග පිට පිටම ඔලිම්පික්  උළෙල  පහකට නිර්දේශ  ලබා ගත් ජාත්‍යන්තර තරග රැසක ඉහළම  ජයග්‍රාහකයෙකි. ඔහු 39 හැවිරිදිය. මෙම ක්‍රීඩකයා සමග විරේන් 2024 ස්වීඩන් විවෘත තරගාවලියේ තරග වැදීමේදී  වට 3/0 ක පරාජයක් ලබා තිබේ.

කෙසේවූවත් විරේන්  නෙත්තසිංහ  මේ වන විට පසු වන්නේ ලෝක  ශ්‍රේණිගත  කිරීම් අනුව 70  වැනි ස්ථානයේය.

පැරිස්  නුවරදී පෙර පුහුණුවීම් සදහා සහභාගි  වෙමින් සිටියදී ඔහු ලංකාදීප යට මෙසේ පැවැසීය. ”ආරම්භයම මට අභියෝගයක් වෙලා තිබෙනවා. ඔබලාට මට දෙන්න පුළුවන් හොඳම  උත්තරය මට මුණ ගැසෙන මේ ක්‍රීඩකයන් දෙදෙනා දිහා බලන්න.  ඔවුන් පැරිස් ඔලිම්පික්  වලදී  මට මුණ ගැසීමට පාර හදා ගැනීමත් ඔවුන් හා සැසදීමේදී මට  ඉහළින්ම සතුටු විය හැකී කාරණයක්”

විරේන්ගේ පුහුණුකරු ලෙස පැරිස්  නුවරට පැමිණ  සිටින්නේ  ඔහුගේ පියා වන රොෂාන්  නෙත්තසිංහ  මහතාය.ඉරානය, ස්වීඩනය, මාලදිවයින, ඉන්දුනීසියාව, උගන්ඩාව, බංග්ලාදේශය හා නේපාලයේදී 2023 හා 2024 යන වසරවලදී පැවැති විවෘත  ජාත්‍යන්තර  තරග මාලා රැසකදී විරේන් එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දිනා තිබේ.

ප්‍රංශයේ ජනාධිපති  එමානුවෙල්  මැකරොන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින්  ආරම්භ වූ පැරිස්  ඔලිම්පික්  උළෙල  අගෝස්තු  12 වැනිදා  දක්වා රටවල්  206 ක ක්‍රීඩක  ක්‍රීඩිකාවන් 12000 කට ආසන්න  පිරිසකගේ සහභාගිත්වයෙන්  පැවැත්වේ.

ඒ සදහා ශ්‍රී  ලංකාවෙන් ක්‍රීඩක  ක්‍රීඩිකාවන්  හය  දෙනෙකු  සහභාගිවී සිටියි.ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  ෂේමාල් ප්‍රනාන්දු ,ජාතික  ඔලිම්පික් කමිටුවේ  සභාපති සුරේෂ්  සුබ්‍රමනියම්, එහි මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා යන මහත්වරු ඇතුළු මෙරට දූත පිරිසක්ද ඊයේ පැවැති පැරිස් ඔලිම්පික්  සමාරම්භක උත්සවය  නැරඹීමට  පැමිණ  සිටියහ.


අදහස් (0)

විරේන් අද තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.