Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් සම්මේලනය පොලිසියට

වොලිබෝල් සම්මේලනය පොලිසියට

editorial - 2025 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ  මැයි 31 වැනිදා කැඳවෙන නිලවරණයේදී (2025 - 29) සභාපති ධූරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා නිතරගයෙන් පත්වීමට නියමිතය.එහිදී ඉදිරි සිව් වසරක් සදහා පත් වෙන නව විධායක සභාවේ ප්‍රධාන ලේකම් ධූරය ඇතුළුව සෙසු සියලු ධූර සදහාත් නිලධාරීන් නිතරගයෙන් පත් වීමට නියමිතය.

වොලිබෝල් සම්මේලනයේ   ( 2025 - 29) ඉදිරි නිලවරණය සදහා නාමයෝජනා බාර ගැනීම ඊයේ (21) පෙරවරු 10 ට අවසන් විය.එහිදී එකම පාර්ශවයකින් පමණක් නාමයෝජනා ඉදිරිපත්වීම තුළ මෙසේ වොලිබෝල් නව විධායක සභාවට නිතරගයෙන් පත් වීමේ අවස්ථාව සැලසී තිබේ.

වත්මන් සභාපති කංචන ජයරත්න හා ප්‍රධාන ලේකම් ඒ.එස්.නාලක යන මහත්වරුන් ඇතුළුව වත්මන් විධායක සභාවේ නිලධාරීන් බහූතරයක් මෙවර නිලවරණයේදී කිසිදු තනතුරක් සදහා නාමයෝජනා ඉදිරිපත් නොකිරීම කැපී පෙනේ.

ඒ අනුව වොලිබෝල් සම්මේලනයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස වින්ග් කමාන්ඩර් අකිල ද අල්විස් මහතා නිතරගයෙන් පත්වීමට නියමිතය.ඔහු ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කොමිසමේද වත්මන් ලේකම්වරයායි.

මැයි 31 වැනිදා පෙරවරු10 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී කැඳවීමට නියමිත වොලිබෝල් සම්මේලනයේ  නිලවරණයේදී සභාපති ධූරයට පත්වීම් ලබන සංජීව මැදවත්ත මහතා වොලිබෝල් වත්මන් විධායක සභාවේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරයි.පොලිස් වොලිබෝල් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයත් මේ වන විට හොබවයි.

වොලිබෝල් සම්මේලනයේ නව විධායක සභාවේත් භාණ්ඩාගාරික ධූරය  එය දැනටත් දරමින් සිටින තුෂාර සම්පත් මහතාට හිමිව තිබේ.උප සභාපති ධූර හත සදහා වත්මන් යුද හමුදාපතිවරයා හා නාවික හමුදාපති වරයාත් නිතරගයෙන් පත්වීමට නියමිතය.චන්දන විජේසිංහ, මහින්ද බන්ඩාර හේරත්, ඉන්ද්‍රජිත් සම්බන්දන්පෙරුම, යන මහත්වරුන්ද ඊට නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් නිතරගයෙන් පත්වීමට නියමිතය. ධනපාල ජයපත්ම මහතා ජාතික සංවිධායක ධූරයටම යළි පත්වීමට නියමිතය.

රේණුක මලින්ද හා කාන්තසිරි මීගමුවගේ යන මහත්වරු එහිදී උප ලේකම් ධූරයන් දෙක සදහා නිතරගයෙන් පත්ව සිටිති.විධායක සභාවේ සභික ධූර11ක් සදහා පත් වන්නන් අතර කාන්තා නියෝජනයට ඉඩ සලසා ගනිමින් රමණී කුලතිලක හා රේණුකා නිල්මිණි යන මහත්මීන් නිතරගයෙන් පත්වීම් ලැබීමට නියමිතය.

වොලිබෝල් සම්මේලනයේ වත්මන් ලේකම් ඒ.එස්.නාලක මහතා මැයි 31 වැනිදා සිට ශ්‍රී ලංකා වොලිබෝල් විධායක සභාවෙන් ඉවත්වුණත් 2027 අවසන් වන තුරු දැනට දරමින් සිටින මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මහ ලේකම් ධූරය දරනු ඇත.

ශ්‍රී ලංකාව 1916 දී හදුනා ගත් වොලිබෝල් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව ලෙස 1991 සිට රජය නිල වශයෙන් පිළිගෙන තිබේ.ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 1951දී ස්ථාපිත කර තිබේ.මෙරට පොලිස්පති ධූරය දැරූ ප්‍රථම ස්වදේශිකයා වන ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා වොලිබෝල් සම්මේලනයේ ආරම්භක සභාපතිවරයායි.


අදහස් (0)

වොලිබෝල් සම්මේලනය පොලිසියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.