Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සමස්ත ලංකා පාසල් ක්‍රීඩා යළිත්

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා යළිත්

editorial - 2022 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර දෙකක්ම (2020–2021) පැවැත්වීමට නොහැකි වූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මෙම වසරේදී පැවැත්වීමේ පළමු උත්සාහය ලෙස කලාප තරග මෙම 15 වැනිදාට පෙර පවත්වා අවසන් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යක්‍ෂවරුන්ට නියම කර තිබේ.

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පසුගිය 2020 හා 2021 යන වසරවලදී නොපැවැත්වුණි.

පසුගිය වසර දෙකේදීම ක්‍රීඩා උළෙල නොපැවැත්වීම හේතුවෙන් ක්‍රීඩා කුසලතා හෙබි රටේ දහස් සංඛ්‍යාත සිසු සිසුවියන් පිරිසකට මෙම දෙවසරේදී ජාතික මට්ටමේ ක්‍රීඩා සහතික හා කුසලාන දිනා ගැනීමේ අවස්ථාව අහිමි විය. එයින් පැන නැගුණු තවත් හානියක් වූයේ, විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ජයග්‍රහණ වෙනුවෙන් හිමි වන ප්‍රසාද ලකුණු ඔවුන්ට එම වසර දෙකේදී අහිමි වීමයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛයකට අනුව අදියර – 1 කලාපීය තරග මැයි 15 වැනිදාට පෙරත්, අදියර – 2 පළාත් තරග ජුනි 1 වැනිදා ආරම්භ කර සැප්තැම්බර් 10 වැනිදාට පෙරත් පවත්වා අවසන් කරන ලෙසත් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට දැනුම් දී තිබේ.
මලල ක්‍රීඩා ඇතුළුව ක්‍රීඩා ඉසව් 32 කින් සමන්විත සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඒ අනුව සැප්තැම්බර් 17 වැනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

විශේෂ චක්‍රලේඛකයට අනුව සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පළමු අදියර පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 17 සිට 19 වැනිදා දක්වාය. දෙවැනි අදියර සැප්තැම්බර් 23 සිට 26 වැනිදා දක්වාත්, තෙවැනි (අවසන්) අදියර ඔක්තෝබර් 1 සිට 4 වැනිදා දක්වාත් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මලල ක්‍රීඩා හැරෙන්නට සෙසු ක්‍රීඩා ඉසව් 31ක් මෙම අදියර තුනේදී පවත්වා අවසන් කෙරේ. මෙම වසරට නියමිත සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නිමාවට පත්වන්නේ නොවැම්බර් 22 සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියෙනි. මලල ක්‍රීඩා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී හෝ දියගම මහින්ද රාජපක්‍ෂ පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

කණ්ඩායම් ක්‍රීඩා ඉසව් කොළඹ හා අවට ක්‍රීඩාංගන රැසකදී පැවැත්වීමට කටයුතු කෙරේ.


අදහස් (0)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා යළිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.