Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉකුත් සති අන්තයේදී නිමාවට පත්වූ විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේදී ඇති වූ දණහිසේ ආබාධයක් හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත්වීමට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 කට හිමිකම් කියන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් තීරණය කර ඇත.
ලබන මාසයේදී 40 වැනි වියට පා තබන ෆෙඩරර් ඉකුත් වසරේදී දණහිසේ සැත්කම් දෙකකට මුහුණදුන් අතර ඒ හේතුවෙන් ඔහුට වසරක පමණ කාලයක් තරග බිමෙන් ඉවත්ව සිටීමට සිදු විය. 2019 වසරේ ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පරාජය වීමෙන් අනතුරුව ඔහු නැවත තරග බිමට පිවිසියේ මෙම වසරේ (2021) මාර්තු මාසයේදීය.
මෙම වසරේ ජූනි මාසයේ පැවැති ප්‍රංශ විවෘත තරගාවලියේදී තමා සහභාගි වූ තෙවැනි වටයේ තරගය ජය ලබා සිටියදී, ෆෙඩරර් එම තරගාවලියෙන් ඉවත් වූයේ විම්බල්ඩන් ශූරතාවලිය සඳහා සූදානම් වීමේ අරමුණෙනි. කෙසේ වුවත් අර්ධ අවසන් පූර්ව වටයේදී පෝලන්තයේ හියුබට් හර්කාස් හමුවේ පරාජය වීම හේතුවෙන් ඔහුට විම්බල්ඩන් ශූරතාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
"තෘණ පිටි තරග සමය තුළදී නැවතත් මගේ දණ හිසේ ආබාධය ඉස්මතු වුණා. ඒ නිසා ඔලිම්පික් උළෙලෙන් ඉවත් වීමට මම තීරණය කළා. ඔලිම්පික් උළෙලවලදී මම ස්විට්සර්ලන්තය නියෝජනය කළ සෑම අවස්ථාවකදීම මට මහත් ගෞරවයක් හිමිවුණා. එය මගේ ක්‍රීඩා දිවියේ කැපී පෙනෙන සංධිස්ථානයක් වුණා. ඒ නිසා මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වීමට නොහැකි වීම ගැන මම බෙහෙවින්ම කලකිරීමට පත්වෙනවා." යැයි ෆෙඩරර් පැවසීය.
2008 වසරේ චීනයේ බීජිං නුවරදී පැවැති ඔලිම්පික් උළෙලේදී පිරිමි යුගල ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ෆෙඩරර්, 2012 වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැති ඔලිම්පික් උළෙලේදී පිරිමි කේවල ඉසව්වේ රිදී පදක්කමට හිමිකම් කීවේය. එම ඔලිම්පික් උළෙල දෙකේදීම ස්විට්සර්ලන්ත ධජය රැගෙන යනු ලැබුවේද ෆෙඩරර් විසිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.