Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ​ඔලිම්පික් යන්න නම් අතින් ගෙවාගෙන සුදුසුකම් ලබාගන්න

​ඔලිම්පික් යන්න නම් අතින් ගෙවාගෙන සුදුසුකම් ලබාගන්න

editorial - 2024 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවල ප්‍රංශයේදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මේසපන්දු ඉසව්ව සඳහා දකුණු ආසියානු කලාපයේ සුදුස්සන් තෝරගනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ වියදම් තනිවම දරාගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා මේසපන්දු සංගමය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනුම් දී තිබේ.

මෙම තරගාවලිය මැයි මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වීමට නියමත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමීර ගිණිගේ, ප්‍රසාද් සිල්වා, ඉෂාරා මධුරංගි සහ බිමන්දි බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගනු ලැබ ඇත. ශ්‍රී ලංකා මේසපන්දු සංගමය 2024 අප්‍රේල් 24 වැනි දාතමින් යුත් ලිපියකින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ බව දැනුම් දී තිබේ.

සංචාරය සඳහා අවශ්‍ය සියලු වියදම් ඔවුන් විසින්ම දරාගත යුතු බව අප්‍රේල් 25 වැනිදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත යවන ලද ලිපියක ද සටහන් වේ.

නේපාලයට යෑමට සහ ආපසු ඒමට ගුවන් ප්‍රවේශපත් (රුපියල් 201,500), නවාතැන් සහ ආහාර පාන ගාස්තු (රුපියල් 120,400), වීසා ගාස්තු (රුපියල් 10,800) සහ රක්ෂණ ගාස්තු (රුපියල් 5,900) යන සියලුම ගාස්තුවල එකතුව ගත් කළ මෙම තරග සංචාරය සඳහා එක් ක්‍රීඩකයකුට වැයවන මුළු මුදල රුපියල් තුන් ලක්ෂ තිස් අට දහස් හයසීයකි (රුපියල් 338,600).

ඉන්දියාව මේ වන විටත් මේසපන්දු ක්‍රීඩාවෙන් මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ඇති බැවින් ඔවුන් මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමට ඇති ඉඩ කඩ ඉතා අල්පය. ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව, සත්කාරක නේපාලය, පාකිස්තානය, භූතානය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් මෙම තරගාවලියට එක්වනු ඇත.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා (12 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණද, මේ වන තෙක්ම ඔවුන්ට තරග සංචාරය සඳහා වියදම්වන මුදල ලබා දෙනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය නිශ්චිත පිළිතුරක් දී නොමැති බව දැනගන්නට ලැබේ.

ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ අදාල තරගාවලිය සඳහා කණ්ඩායම තෝරාගෙන සති දෙකක පමණ කාලයක් ගත වුවත්, ඊට සහභාගි වීම සඳහා ඔවුන්ට වැය වන මුදල ලබාගැනීමට ක්‍රීඩා අමාත්‍යංශය වෙත ලියකියවිලි ඉදිරිපත් කර තිබුණේ අවසන් මොහොතේ බවය.

 


අදහස් (0)

​ඔලිම්පික් යන්න නම් අතින් ගෙවාගෙන සුදුසුකම් ලබාගන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.