Last Update  :  2025-01-15 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 ගාල්ල අවසන් පන්දුවේදී දිනුම උදුරාගනී
එල්.පී.එල්. - 2024

ගාල්ල අවසන් පන්දුවේදී දිනුම උදුරාගනී

දමින්ද විජේසූරිය - 2024 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පන්දුවත් පිත්තත් අතර කදිම සටනකට පසුව යාපනය ‘කිංග්ස්’ පිල පරාජය කළ ගාල්ල මාවල්ස් ක්‍රීඩකයෝ තරගයේ අවසන් පන්දුවේදී කඩුලු 5 ක විශිෂ්ට ජයක් අත්කර ගත්හ. 2024 එල්.පී.එල්. තරගාවලියේ දෙවැන්න වූ මෙම තරගය අද (02 වැනිදා) පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

පැතුම් නිස්සංස (51) සහ අවිශ්ක ප්‍රනාන්දු (59) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 81 ක සම්බන්ධතාව මත සිටගත් යාපනය කිංග්ස් ක්‍රීඩකයෝ, සිය ඕවර 20 නිමාවේදී ගාල්ල ‘මාවල්ස්’ පිලට එරෙහිව කඩුලු 7 කට ලකුණු 177 ක් ලබාගත්හ. ලකුණු 178 ක ඉලක්කයක් කරා ගිය ගාල්ල පිතිකරුවන්ට අවසන් ඕවර 4 දී (පන්දු 24 කින්) ලකුණු 49 ක් අවශ්‍යව තිබිණ. 

17 සහ 18 වැනි ඕවර දෙකේදී ලකුණු 29 ක් ලබාගත් ජනිත් ලියනගේ සහ භානුක රාජපක්‍ෂ දෙදෙනා, ඉලක්කය පන්දු 12 කින් ලකුණු 20 ක් දක්වා වෙනස් කර දුන්හ. අවසන් ඕවරයේදී අවශ්‍ය වූයේ ලකුණු 9 කි. ඉනිමේ අවසන් පන්දුව කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ සීමාවට යැවූ සහන් ආරච්චිගේ ගාල්ල කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. 

කිසියේ වාසිය දිනාගත් යාපනය පිල පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් මුලු ලකුණු සංඛ්‍යාව 20 ක් ව තිබියදී කුසල් මෙන්ඩිස් ලකුණු 04 කට දැවී ගියේය. එතැන් සිට එක්වූ පැතුම් නිස්සංක සහ අවිශ්ක ගුණවර්ධන දෙදෙනා, චිත්තාකර්ශනීය පහර රැසකින් ගාල්ල පන්දු යවන්නන්ට සංග්‍රහ කරමින් 12 වැනි ඕවරයේදීම ලකුණු 100 කඩඉම පසුකර ගියහ. 

පන්දු 48 කට මුහුණ දුන් අවිශ්ක ප්‍රනාන්දු හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 59 ක් ලබාගත්තේය. පන්දුවේ වේගය මනාව හසුරුවා ගනිමින් හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් ද ඇතුළුව පැතුම් නිස්සංක ලබාගත් අර්ධ ශතකය පන්දු 33 කින් පැමිණියේය. 

නිස්සංකගේ දැවී යාමත් සමගින් ලකුණු 25 ක් ඇතුළත කඩුලු තුනක් බිඳ වැටුණ නමුත් ඒ වතාවේදී එක්වූ චරිත් අසලංක (33) සහ ධනංජය ද සිල්වා (18) ගාල්ල පන්දු යවන්නන්ට රිදෙන්නම පහර දුන්හ. ඉසුරු උදානගේ දුර්වල පන්දු හමුවේ උපරිම ප්‍රයෝජන ගැනීමට පිතිකරුවෝ දෙදෙනාම පසුබට නොවූ බැවින් තම ඕවර 4 න් ලකුණු 60 ක් තිළිණ කිරීමට උදානට සිදුවිය. 

ගාල්ල නායක නිරෝෂන් දික්වැල්ල තරගයට පෙරදීම කියා සිටියේ කාසියේ වාසිය අහිමි වීම වඩාත් යහපත් බවයි. 

“ඉස්සෙල්ලාම පන්දු යවන්න තමයි කොහොමත් බලාගෙන හිටියේ. මොකද ඊයේ තිබුණු තරගයේදී දෙපිලම ලකුණු ගොඩාක් (4/179 සහ 4/183) ලබාගත්තා. ඒක හින්දා තණතීරුව කොහොම හැසිරේවිද කියලා බලන්න ඕනා..” යයි නිරෝෂන් දික්වැල්ල කාසියේ වාසිය අහිමි වීමෙන් පසුව පැවසීය. 

 

යාපනය කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 7 ට 177 යි
(අවිශ්ක ප්‍රනාන්දු 59, පැතුම් නිස්සංක 51, චරිත් අසලංක 33, ධනංජය ද සිල්වා 18, ඩ්වේන් ප්‍රිටෝරියස් 23/2, ඉසුරු උදාන 60/2, සහූර් ඛාන් 34/3) 

ගාල්ල මාවල්ස් - ඕවර 20 කදී කඩුලු 5 ට 179 යි
(නිරෝෂන් දික්වැල්ල 47, ඇලෙක්ස් හේල්ස් 65, ටිම් සේෆර්ට් 10, භානුක රාජපක්‍ෂ 13, ජනිත් ලියනගේ 25, අසිත ප්‍රනාන්දු 40/2, ෆේබියන් ඇලන් 33/2)

ඡායාරූප - කුෂාන් පතිරාජ


අදහස් (0)

ගාල්ල අවසන් පන්දුවේදී දිනුම උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.