Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 දඹුල්ලට අලුත් අයිතිකාරයෙක්
එල්.පී.එල් 2024

දඹුල්ලට අලුත් අයිතිකාරයෙක්

editorial - 2024 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වින ‘සෙකුඕයා කන්සල්ටන්ස්’ සමාගම එල්. පී.එල්. තරගාවලියේදී දඹුල්ල කණ්ඩායම භාර ගැනීමට ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එල්.පී.එල්. තරග සංවිධායකයන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2024 තරගාවලියේදී දඹුල්ල කණ්ඩායම විශේෂයෙන්ම පිහිටුවා ගන්නා ලද ‘ද සිල්වා හෝල්ඩිංග්ස්’ සමාගම යටතේ ක්‍රියාත්මක වන බවයි.

‘සෙකුඕයා කන්සල්ටන්ස්’ සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය දරන්නේ ශ්‍රී ලාංකිකයකු වන ප්‍රියංග ද සිල්වා මහතා විසිනි. ඔහු වරලත් ඉංජිනේරුවරයකු වන අතර ‘සෙකුඕයා කන්සල්ටන්ස්’ සමාගමේ සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් ද කටයුතු කරයි. 

හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ප්‍රියංග ද සිල්වා මහතා, 1983 වසරේ ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර තිබේ. ඔහු දැනට එක්සත් ජනපදයේ අවුරුදු 60 ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි. දකුණු කැලිෆෝනියා යොවුන් ක්‍රිකට් සංගමයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින ප්‍රියංග ද සිල්වා මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ තවත් ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකි.

“ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක බැඳී ඉන්න මට තියෙන ආශාව නිසා දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මිලදී ගන්න මම කල්පනා කළා”

“පසුගිය අවුරුදු හතරේදීම එල්.පී.එල්. තරගාවලිය ඉදිරියට එන ආකාරය දිහා මම බලා හිටියා. අපි වගේ පුංචි රටකට ඒක හොඳ දෙයක්. ඒ වගේ වර්ධනයකට දායක වෙන්න ලැබීම හොඳ අවස්ථාවක් කියා මා හිතනවා. මමත් මට පුළුවන් විදිහට ඒ වර්ධනයට දායක වෙනවා” යයි ද ප්‍රියංග ද සිල්වා මහතා පැවසූයේ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක සටහන් වේ. 

“හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙක් දඹුල්ල කණ්ඩායම මිලදී ගැනීම ගැන අපට විශේෂයෙන්ම සතුටු වෙන්න පුළුවන්. මොකද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ රිද්මය හඳුනන්නෙක්” යයි එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය. 

නව හිමිකරුවාගේ අදහස අනුව දඹුල්ල කණ්ඩායම මෙතැන් සිට “දඹුල්ල සික්සර්ස්”යනුවෙන් හඳුන්වනු ලැබේ. “දඹුල්ල තන්ඩර්ස්” ලෙසින් හඳුන්වන ලද දඹුල්ල කණ්ඩායමෙ පැරණි හිමිකරුවා තරග පාවාදීම සම්බන්ධ චෝදනා කිහිපයක් හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලදි. ඔහුව අත්අඩංගුවට ගන්නා ලද්දේ 2024 එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙන් දිනයකට පසුවය. 

එල්.පී.එල්. තරගාවලියේ පස්වැන්න ජූලි මස 1 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පල්ලෙකැළේ, දඹුල්ල සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙයි. 


- 213


අදහස් (0)

දඹුල්ලට අලුත් අයිතිකාරයෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.