Last Update  :  2025-01-15 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 මහනුවර ක්‍රීඩකයෝ බලාපොරොත්තු රඳවාගනිති
එල්.පී.එල්. - 2024

මහනුවර ක්‍රීඩකයෝ බලාපොරොත්තු රඳවාගනිති

editorial - 2024 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගය ලෙස මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු රඳවාගැනීමටද මහනුවර ක්‍රීඩකයන්ට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 223 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 168 ක් පමණි. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 40 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 74 ක් රැස්කළේය. 

කෙසේ වුවත් සෙසු පිතිකරුවන්ගේ සහාය නොලැබීම හේතුවෙන් කුසල්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත් අතර දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා වනිඳුට අනගි සහායක් දුන් දසුන් ශානක ලකුණු 29 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 222 ක් ලබාගත්තේය. කමිඳු මෙන්ඩිස් (නොදැවී 51) සහ ඇන්ජලෝ මැතිව්ස් (නාදැවී 44) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 95 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.  

පන්දු 24 කදී වාර්තා කමිඳුගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර පන්දු 23 කට මුහුණදුන් මැතිව්ස් හයේ පහර 5 කින් සිය ඉනිම සැරසුවේය. ඉන් හයේ පහර 4 ක්ම අවසන් ඕවරයේදී චමිඳු වික්‍රමසිංහගේ පන්දු හමුවේ පිට පිටම එල්ල කළ හයේ පහර විය. මොහොමඞ් හාරිස් පන්දු 13 කදී හයේ 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක් රැස්කළේය. 

ආරම්භක පිතිකරු ඔන්ඩි්‍ර ෆ්ලෙචර් පන්දු 34 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 60 ක් රැස්කරමින් මහනුවර කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. පිතිහරඹය ලැයිස්තුවේ උසස්වීමක් ලබා සිවුවැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීමට පැමිණි නායක වනිඳු හසරංග පන්දු 12 කින් ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 


මහනුවර ෆෝල්කන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 222 
(ඔන්ඩි්‍ර ෆ්ලෙචර් 60, මොහොමඞ් හාරිස් 24, වනිඳු හසරංග 24, කමිඳු මෙන්ඩිස් නොදැවී 51, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 44, දුෂාන් හේමන්ත 14/3) 

දඹුල්ල සික්සර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 168 
(කුසල් පෙරේරා 74, මාක් චැප්මන් 24, සොනාල් දිනූෂ 17, චමිඳු වික්‍රමසිංහ 18, දුෂාන් හේමන්ත 17, වනිඳු හසරංග 35/4, දසුන් ශානක 29/3) 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ බලාපොරොත්තු රඳවාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.