Last Update  :  2025-01-15 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 රූසෝගේ වේගවත්ම ශතකයෙන් යාපනය ජයගනී
එල්.පී.එල්. - 2024

රූසෝගේ වේගවත්ම ශතකයෙන් යාපනය ජයගනී

editorial - 2024 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ස්ට්‍රයිකර්ස් පන්දු යවන්නන්ට හිතේ හැටියට පහර දෙමින් එල්.පී.එල්. ඉතිහාසයේ වේගවත්ම ශතකය ලබාගත් රිලී රූසෝ (නොදැවී 108) රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති එල්.පී.එල්. තරගයේදී යාපනය කිංග්ස් කණ්ඩායම කඩුලු 7 ක පහසු ජයක් කරා කැඳවාගෙන ගියේය. ලකුණු 189 ක ඉලක්කයක් කරා ගිය යාපනය ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී ජයටැඹ පසුකර ගියහ. 

පන්දු 44 කින් සිය ශතකය සම්පූර්ණ කළ රිලී රූසෝ එල්.පී.එල්. ඉතිහාසයේ වේගවත්ම ශතකයේ හිමිකරුවා විය. රූසෝ සමගින් එක්ව, තුන්වැනි කඩුල්ල වෙනුවෙන්, පන්දු 64 කින් ලකුණු 120 ක් එකතු කළ අවිශ්ක ප්‍රනාන්දු (58) මෙවර එල්.පී.එල්. තරගාවලියේ තම සිව්වැනි අර්ධ ශතකය ලබාගත්තේය. අවිශ්ක ප්‍රනාන්දු, ඉනිම 6 කදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 284 කි. 

රූසෝගේ පහසු උඩපන්දු තුනක්ම කොළඹ ස්ට්‍රයිකර්ස්ලා විසින් බිම දමන ලදි. ඒවායින් දෙකක්ම ගිළිහී ගියේ කඩුලු රකින්නා වූ රමනුල්ලා ගුර්බාස් වෙතිනි. නිත්‍ය කඩුලු රකින්නා වන සධිර සමරවික්‍රම කණ්ඩායමේ සිටියදීත් අද තරගයේදී කඩුලු රැකීම ගුර්බාස් විසින් බාරගෙන සිටියේය. රූසෝගේ පන්දු 50 ඉනිම හතරේ පහර 12 කින් සහ හයේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දුවේ වේගයත් තණතීරුවේ ඉපිළීමක් මැනවින් ප්‍රයෝජනයට ගත් දකුණු අප්‍රිකානු ජාතික වමත්කාරයා සිය අර්ධ ශතකය ලබාගත්තේ පන්දු 22 කිනි.
 
පළමුව පන්දුවට පහර දීම සඳහා තල්ලුකර දමන ලද නමුත් රමනුල්ලා ගුර්බාස් (27) සහ ඇන්ජලෝ පෙරේරා (34) ‘ස්ට්‍රයිකර්ස්’ වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත්හ. පන්දු 11 කින් ලකුණු 27 ක් උදුරා ගැනීමෙන් පසුව ගුර්බාස් දැවී ගියේය. එහෙත් ග්ලෙන් පිලිප්ස් ලකුණු වේගය ඉදිරියට ගෙන ගියේය. ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවේදී ස්ට්‍රයිකර්ස් ලා කඩුල්ලක් පමණක් දැවී ලකුණු 65 ක් ලබා සිටියහ. 

තිසර පෙරේරා ලකුණු ලබාගැනීමට පෙරම දුන් උඩපන්දුව හතරේ සීමාව ආසන්නයේදීම රැකගත් නමුත් එය නිපන්දුවක් වීමෙන් ප්‍රමෝද් මධුශාන්ට කඩුල්ල අහිමි විය. ඒ වෙනුවෙන් යැවුණු නිදහස් පහර’ හිමි පන්දුවටත් තිසරගෙන් ලැබුණේ උඩපන්දුවකි. එවරත් මධුශාන් අවාසනාවන්තයා විය. තිසර පෙරේරාට ලබාගත හැකිවූයේ ලකුණු 13 කි. තරගයේ නියමිත ඕවර 20 නිමා වන විට තිසර පෙරේරා නායකත්වය දරන කොළඹ ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ යාපනය කිංග්ස් පිල හමුවේ කඩුලු 8 ක් දැවී ලකුණු 188 ක් ලබාගත්හ. 

තිසර පෙරේරා පිටියේ සිටියදී ලකුණු පුවරුව කියැවුණේ කඩුල්ලක් දැවී ලකුණු 138 ක් ලෙසිනි. 13 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් නිසා තිසර පෙරේරා දැවී ගිය තැන් පටන්, ඕවර 2.3 ක් ඇතුළත ලකුණු 11 කට කඩුලු 5 ක් බිඳ වැටිණ. මේ අතරවාරයේදී අස්මතුල්ලා ඔමර්සායි සහ ෆේබියන් ඇලන් එක්ව ලකුණු 04 කට කඩුලු 3 ක් බිම දමාගනිද්දී නිපුන් ධනංජය දුවද්දී දැවී ගියේය. 

කෙසේ හෝ අවසන් ඕවර දෙකේදී ලකුණු 22 ක් ලබාගත් ටස්කින් අහමඞ් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 188 ක් දක්වා ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කැඳවාගෙන ගියහ. 


කොළඹ ස්ට්‍රයිකර්ස් - ඕවර 20 කදී කඩුලු 8 ට 188 යි
(රමනුල්ලා ගුර්බාස් 27, ඇන්ජලෝ පෙරේරා 34, ග්ලෙන් පිලිප්ස් 58, තිසර පෙරේරා 13, දුනිත් වෙල්ලාලගේ 13, ටස්කින් අහමඞ් නොදැවී 15, අස්මතුල්ලා ඔමර්සායි 31/2, අසිත ප්‍රනාන්දු 38/2)

යාපනය කිංග්ස් - ඕවර 18.3 කදී කඩුලු 3 ක් දැවී 190 යි
(රිලී රූසෝ නොදැවී 108, අවිශ්ක ප්‍රනාන්දු 58, චරිත් අසලංක නොදැවී 11)


අදහස් (0)

රූසෝගේ වේගවත්ම ශතකයෙන් යාපනය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.