Last Update  :  2025-01-15 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 වැස්සට පස්සේ හයේ පහර වරුසාවක්
එල්.පී.එල්. - 2024

වැස්සට පස්සේ හයේ පහර වරුසාවක්

editorial - 2024 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එල්.පී.එල්. තරගාවලියේ තුන්වැනි අදියරේ තරග ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති තරගයේදී හයේ පහර වරුසාවක් දැක ගැනීමට නරඹන්නන්ට හැකිවිය. ඕවර 13 කට සීමා වූ තරගයේදී දෙපිලේම පිතිකරුවන් වෙතින් හයේ පහර 14 ක් දැකගැනීමට ලැබුණු අතර මහනුවර ෆෝල්කන්ස් පිල පරාජය කරමින් යාපනය කිංග්ස් කණ්ඩායම කඩුලු 4 ක පහසු ජයක් අත්කර ගත්තේය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ෆෝල්කන්ස් ක්‍රීඩකයෝ ඕවර 7 කදී කඩුලු 5 ක දැවී ලකුණු 78 ක් ලබාගත්හ. හයේ පහර 10 කින් මහනුවර පන්දු යවන්නන්ට තැළුෑ යාපනය කිංග්ස් ක්‍රීඩකයෝ පන්දු හතක් ඉතිරිව තිබියදීම ලකුණු 79 ක් ලබාගත්හ. පන්දු 35 ක් වූ යාපනය ඉනිමට හයේ පහර 10 ක් ඇතුළත් වූ නමුත් ඊට එක්වූයේ එකම හතරේ පහරකි. 

යාපනය ඉනිමේදී පන්දු 13 ක් ඇතුළත ලකුණු 13 කට කඩුලු 3 ක් බිඳ වැටී, කණ්ඩායම අන්ත අසරණ අඩියකට වැටී තිබිණ. මෙම අවස්ථාවේදී පැමිණි නායක චරිත් අසලංක, තරගයේ තාලය සහමුලින්ම වෙනස් කරමින් මුහුණ දුන් පළමු පන්දු 4 න් දෙකක්ම හතරේ සීමාවට ඉහළින් යැවීය. 

එතැන් සිට අසලංක සහ අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනා තරගයට මෙන් හයේ පහරවලින් නරඹන්නන් පිනවමින් සිටියද වනිඳු හසරංග විසින් චරිත් අසලංක දවාගන්නා ලදි. වනිඳුගේම පාසලේ, ඔහුට ජ්‍යෙෂ්ඨ නායකයා වූ චරිත් අසලංක, පන්දු 9 කින් ලබාගත් ලකුණු 29 ට හයේ පහර 4 ක් ඇතුළත් විය. 

අසලංක දවාගැනීම වනිඳු කළ වැරැද්ද විය. අසලංක දැවී යාමෙන් පසුව පැමිණි අස්මතුල්ලා ඔමර්සායි පන්දු 6 කින් ලකුණු 24 ක් ලබාගත්තේ හයේ පහර 3 ක් ද ඇතුළුවය. ඔමර්සායි සහ අවිශ්ක දෙදෙනාගේ ප්‍රහාරය හේතුවෙන් ඉලක්කය අවසන් ඕවර දෙකේදී පන්දු 12 කින් ලකුණු 13 ක් තරම ආසන්නයට පැමිණියේය.

වනිඳු හසරංග සිය එකම ඕවරයේදී පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූ නමුත් ඔහුගේ ඉතිරි පන්දු 4 න් තුනකටම හයේ පහර වැදිණ. 

තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ රාත්‍රී 7.30 ට වූවත් අද උදෑසන පටන් පැවැති වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය ප්‍රමාද කරන ලදි. පැය තුනකට පමණ පසුව රාත්‍රී 10.15 ට තරගය ආරම්භ වූයේ එක් කණ්ඩායමක් මුහුණ දෙන ඕවර සංඛ්‍යාව 7 කට සීමා කරමිනි. 


මහනුවර ෆෝල්කන්ස් - ඕවර 7 කදී0 කඩුලු 5 ට 78 යි
(දිනේෂ් චන්දිමාල් 21, මොහොමඞ් හාරිස් 30, ඇන්ජලෝ මැතිව්ස් 11, ජේසන් බෙරෙන්ඩොෆ් 10/3)

යාපනය කිංග්ස් - ඕවර 5.5 කදී කඩුලු 6 ට 79 යි
(අවිශ්ක ප්‍රනාන්දු 16, චරිත් අසලංක 26, අස්මතුල්ලා ඔමර්සායි නොදැවී 24, ඇන්ජලෝ මැතිව්ස් 22/2)

- 213


අදහස් (0)

වැස්සට පස්සේ හයේ පහර වරුසාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.