Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 අවිශ්ක - නිස්සංක යාපනය දිනවති
එල්.පී.එල්. - 2024

අවිශ්ක - නිස්සංක යාපනය දිනවති

editorial - 2024 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පිට පිටම තුන්වැනි පරාජය දඹුල්ල ‘සික්සස්’ පිලට උරුම කර දුන් යාපනය ‘කිංග්ස්’ ක්‍රීඩකයෝ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 30 ක පහසු ජයක් වාර්තා කළහ. මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ අත්කරගත් යාපනය ‘කිංග්ස්’ කණ්ඩායම සහභාගි වූ තරග 4 කින් 3 ක් ජයගෙන සිටී. 

අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක දෙදෙනාගේ පිතිහරඹය නිසා යාපනය කිංග්ස් පිල පහසුවෙන්ම ලකුණු 218 ක් ලබාගත්තේය. දඹුල්ල ලකුණු 188 දී නතර විය. 

ලකුණු 219 ක ඉලක්කයක් කරා ගිය දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් රීසා හෙන්රික්ස් කදිම ආරම්භයක් ලබාගත්තේය. හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් ද සහිතව පන්දු 50 කින් ලකුණු 80 ක් ලබාගත් රීසා හෙන්රික්ස්ගේ පිතිහරඹය නිසා 10 වැනි ඕවරය නිමාවන විටත්, දඹුල්ල සාර්ථක ගමනක යෙදී සිටියේය. කඩුලු 7 ක් අතැතිව සිටි දඹුල්ල පිලට එතැන් සිට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ පන්දු 60 කින් ලකුණු 116 කි. එහෙත් මාක් චැප්මන් සහ මොහොමඞ් නබී දැවීයාමෙන් පසුව දඹුල්ලේ ලකුණු ප්‍රස්ථාරය පහතට නැමී ගියේය. 

හෙන්රික්ස් 18 වැනි ඕවරය දක්වාත් පිටියේ සිටි නමුත් ඔහුට පමණක් සියල්ල කළ නොහැකි විය. අවසන් ඕවර 4 දී එය පන්දු 24 කින් ලකුණු 66 ක් වූ අතර 16 සහ 17 වැනි ප්‍රහාරාත්මක ඕවර දෙකේදී දඹුල්ලට එක්වූයේ ලකුණු 24 ක් පමණි. අවසන් ඕවරය නිමාවේදී දඹුල්ල ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 8 ට 188 ක් ලෙසිනි. 

එකිනෙකා හා තරගයට මෙන් හයේ පහර ගැසූ පැතුම් නිස්සංක (88) සහ අවිශ්ක ප්‍රනාන්දු (57) දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 100 ක් එකතු කළහ. දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී ගියේ රිසා හෙන්රික්ස්ගේ අති විශිෂ්ට පන්දු රැකීමකිනි. නිස්සංක සහ අවිශ්ක දෙදෙනා හයේ පහර 9 ක් සහ හතරේ පහර 12 ක් සිය පිතිහරඹයට ඇතුළත් කර තිබිණ. 

මෙම තරගාවලියේ ඉතාමත්ම සාර්ථක පිතිකරුවා වී  සිටින අවිශ්ක ප්‍රනාන්දු මේ දක්වා සහභාගි වූ තරග 4 දී ලකුණු ලබාගත් ආකාරය සටහන් වන්නේ 59, 80, 14 ක් සහ 57 ක් වශයෙනි. අවිශ්ක අද ලබාගත්තේ ඔහුගේ 12 වැනි එල්.පී.එල්. අර්ධ ශතකයයි. 2024 තරගාවලියේ ඉනිම 4 කදී පන්දු 123 කින් ලකුණු 210 ක් ලබා සිටින අවිශ්ක ප්‍රනාන්දුගේ පිත්තෙන් පැමිණි හයේ පහර සංඛ්‍යාව 12 කි. හතරේ පහර සංඛ්‍යාව 17 කි.

අනෙක් අයත් කරන නිසාදෝ කාසියේ වාසිය දිනා පන්දු යැවීම තෝරාගත් දඹුල්ල පන්දු යවන්නෝ යාපනය පිතිකරුවන්ගේ අනුකම්පා විරහිත පහරදීමට ගොදුරු වූහ. 

දඹුල්ල ‘සික්සස්’ පන්දු යැවීම කිසිම කමකට නොතිබිණ. පන්දු වැලක්ම පිත්තටම යැවුණු අතර යාපනය පිතිකරුවෝ ඒවායින් මනා ප්‍රයෝජන ගත්හ. මුස්ටෆිසුර් රහමන් (39/2) සහ නුවන් තුෂාර (48/1) බිඳ වැටුණු කඩුලු 5 න් තුනක් බෙදාගත් නමුත් ඔවුන් දෙදෙනාගේ ඕවර 8 න් උදුරාගත් ලකුණු සංඛ්‍යාව 87 කි. නුවන් තුෂාරගේ අවසන් ඕවරයේදී පමණක් ලකුණු 32 ක් පැමිණියේය. 

අහන් වික්‍රමසිංහ අද සිය මංගල එල්.පී.එල්. තරගයට ක්‍රීඩා කරන නමුත් ඔහුට පන්දුවට පහර දීමේ අවස්ථාව නොලැබිණ. 


යාපනය කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 5 ට 218 යි
(පැතුම් නිස්සංක 88, කුසල් මෙන්ඩිස් 18, රිලී රූසෝ 12, අවිශ්ක ප්‍රනාන්දු 57, චරිත් අසලංක 13, අස්මතුල්ලා ඔමර්සායි නොදැවී 19, මුස්ටෆිසුර් රහමන් 39/2)

දඹුල්ල සික්සස් - ඕවර 20 කදී කඩුලු 8 ට 188 යි
(රීසා හෙන්රික්ස් 80, කුසල් පෙරේරා 16, නුවනිඳු ප්‍රනාන්දු 16, මාක් චැප්මන් 30, චමිඳු වික්‍රමසිංහ නොදැවී 20, අසිත ප්‍රනාන්දු 25/2, ප්‍රමෝද් මධුෂාන් 48/2, තබ්රේස් ශම්සි 26/2)

 


අදහස් (0)

අවිශ්ක - නිස්සංක යාපනය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.