Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 චන්දිමාල් - කමිඳු මහනුවරට ජය ගෙනෙති
එල්.පී.එල්. - 2024

චන්දිමාල් - කමිඳු මහනුවරට ජය ගෙනෙති

editorial - 2024 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගය ලෙස මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම සහ යාපනය කිංග්ස් කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම සමත් විය. මෙය එල්.පී.එල්. ඉතිහාසයේ ඉහළම හඹායෑම ලෙසද සටහන් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 225 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. 

හඹායෑම ආරම්භයේ සිටම ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 37 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 89 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. චන්දිමාල්ගේ ඉනිමෙන් ලද පන්නරයත් සමග මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ කමිඳු මෙන්ඩිස් පන්දු 36 කින් නොදැවී ලකුණු 35 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

මොහොමඩ් හාරිස් (25) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 58 ක් එක්කළ චන්දිමාල්, ඉන් අනතුරුව කමිඳු මෙන්ඩිස් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 72 ක්ද එක් කිරීමටද සමත් විය. චන්දිමාල්ගේ දැවී යෑමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 29) සමග එක්වූ කමිඳු සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවක් පිහිටුවමින් මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 224 ක් ලබාගත්තේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 59 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 16 ක් සමග ලකුණු 119 ක් රැස්කළේය. එය පැතුම්ගේ මංගල එල්.පී.එල්. ශතකය වූ අතර එල්.පී.එල්. තරගයකදී පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. 

කුසල් මෙන්ඩිස් (26) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 112 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් යාපනය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් පැතුම්, ඉන් නොනැවතී රිලී රූසොව් (41) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 27 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 18 කට මුහුණදුන් රූසොව් හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 23 කදී වාර්තා වූ කුසල්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.  

තරගයේ කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායමේ නායක වනිඳු හසරංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. මෙම තරගයේදී අහන් වික්‍රමසිංහ වෙනුවට වනුජ සහන් යාපනය කණ්ඩායමටද, ලක්ෂාන් සඳකැන් සහ පවන් රත්නායක වෙනුවට රමේෂ් මෙන්ඩිස් සහ කවිඳු පතිරත්න මහනුවර කණ්ඩායමටද ක්‍රීඩා කළහ.  

යාපනය කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 224 
(පැතුම් නිස්සංක 119, කුසල් මෙන්ඩිස් 26, රිලී රූසොව් 41, අවිෂ්ක ප්‍රනාන්දු 16, දසුන් ශානක 40/3, රමේෂ් මෙන්ඩිස් 28/2, දුෂ්මන්ත චමීර 44/2) 

මහනුවර ෆෝල්කන්ස් පිල - ඕවර 18.2 කදී කඩුලු 3 කට 230 
(දිනේෂ් චන්දිමාල් 89, මොහොමඩ් හාරිස් 25, කමිඳු මෙන්ඩිස් නොදැවී 65, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 29, තබ්‍රේස් ශම්ෂි 46/2)


අදහස් (0)

චන්දිමාල් - කමිඳු මහනුවරට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.