Last Update  :  2024-12-27 20:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports මෝටර් රථ ක්‍රීඩා සමාජ 7 කින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට චෝදනා පත්‍රයක්

මෝටර් රථ ක්‍රීඩා සමාජ 7 කින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට චෝදනා පත්‍රයක්

editorial - 2024 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ වැඩ බැලීම සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයකු පත්කර ඇති බවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා නගමින් ක්‍රීඩා අමාත්‍ය ධූරයේ කටයුතු කරන අගමැතිනි අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත ලිපියක් ඉදිරිපත් කිරීමට එම සම්මේලනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ සහ අනු සංගම් 10 න් 7 ක් පියවර ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය, සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය, සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්‍රීඩා සමාජය, මෝටර් රේසිං ක්‍රීඩා සංගමය, මීගමුව මෝටර් රථ ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සමාජය  යන මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ අනු සංගම්වල නිලධාරීන් මෙම ලිපියට අත්සන් තබා ඇත. 

කෙසේ වුවත් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයට අනු බද්ධ සෙසු ක්‍රීඩා සමාජ සහ අනු සංගම් 3 වන ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ යතුරුපැදි කරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රේසිං ක්‍රීඩා සමාජය සහ කොළඹ මෝටර් රේසිං ක්‍රීඩා සමාජය මීට දින කිහිපයකට ඉහතදී යවන ලද උත්ක ලිපියට අත්සන් තබා නොමැත. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැති කාර්යාලයේ ලේකම්, ක්‍රීඩා අමාතංශයේ ලේකම් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෙතද පිටපත් යොමුකරමින් මෙම ලිපියේ චෝදනාකාර පාර්ශවය කියා සිටින්නේ මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ වැඩ බැලීම සඳහා ෂේන් ගුණවර්ධන මහතා පත්කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීම නීති විරෝධී බවත්, එය ඔහු වෙත පැවරුණු බලය අනිසි ලෙස තවත් අයකු වෙත පැවරීමක් බවත්ය. 

නියමිත කාල වකවානුව තුළ නිලවරණය පැවැත්වීමට අපොහොසත් වීම හේතුවෙන් ජාතික ක්‍රීඩා සම්මේලන 4 ක ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් එම සම්මේලනවල පාලන කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා නිසි බලධාරීයා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතාට බලය පැවරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය ජූලි මාසයේදී පියවර ගත්තේය. 

මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයද ඊට අයත් වූ අතර සම්මේලන 4 ම එම තීන්දුවට එරෙහිව නඩු මඟට පිවිසීම හේතුවෙන් මාස 3 ක් ගතවන තුරුත් ඉන් කිසිදු සම්මේලනය නිලවරණයක් පැවැත්වීමට මේ දක්වා නොහැකි විය. ඒ අතර වාරයේ මෙම මස 10 වැනිදා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ කටයුතු සොයා බලා ඉදිරියට කරගෙන යෑම සඳහා ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ වත්මන් සභාපතිවරයා වන ෂේන් ගුණවර්ධන මහතා පත්කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරන ලද ෂේන් ගුණවර්ධන මහතා කිසිදු ආකාරයකින් මෝටර් රථ ක්‍රීඩාවේ නිරත වී නොමැති බවටත්, එබැවින් ඔහුට මෝටර් රථ ක්‍රීඩාව සහ එහි නීති රෙගුලාස් පිළිබඳව දැනුමක් නොමැති බවටත් එහිදී චෝදනා එල්ල වී තිබේ. ඔහු මෙම ලිපිය ඉදිරිපත් කරන ක්‍රීඩා සමාජ සහ අනු සංගම් සමග මත බේද අදහස් දරන වෙනත් මෝටර් රථ අනු සංගමයක ක්‍රියාකාරී සාමාජිකයකු බවද වැඩි දුරටත් චෝදනාකාර පාර්ශවය ලිපිය මගින් අගමැතිවරිය වෙත කියා සිටියේය. 


අදහස් (0)

මෝටර් රථ ක්‍රීඩා සමාජ 7 කින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට චෝදනා පත්‍රයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.