Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports අරවින්ද යළිත් සුපුරුදු ධාවන පථයට

අරවින්ද යළිත් සුපුරුදු ධාවන පථයට

ශනුක අරවින්ද - 2013 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විජය පුවත්පත් ආයතනයේ මාධ්‍ය අනුග‍්‍රහයෙන් 12 වැනි වරටත් පැවැත්වෙන ‘ගජබා සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අනිද්දා (1 වැනිදා) උදෑසන 9.00 සිට අනුරාධපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ.

සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා පැවැත්වෙන අවසන් මොටෝක්‍රොස් තරගාවලිය වන මෙම තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කරනු ලබන්නකි.

දක්ෂතම මෝටර් රථ රියදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගැනීම සඳහා වන තරගද සමගින්, තරග ඉසව් 26 කින් සමන්විත වන මෙවර තරගාවලියට මෝටර් රථ තරග 13 ක් සහ යතුරුපැදි තරග 13 ක් ඇතුලත්වේ. තරගාවලියට සහභාගීවීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 200 කට අධික වන අතර ඊට ටී. වී. එස්. කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය යතුරු පැදි තරගකරුවෝ දෙදෙනෙක්ද ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය විසින් මෙතෙක් පවත්වනු ලැබූ තරගාවලි 4 (ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්, සීගිරි රැලික්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස් සහ ගනර්ස් සුපර්ක්‍රොස්) අවසානයේ ගයාන් සඳරුවන් ප‍්‍රසාද ලකුණු 70 ක් ලබාගෙන යතුරුපැදි අංශයේ පෙරමුණේ පසුවන අතර, අශාන් සිල්වා ප‍්‍රසාද ලකුණු 50 ක් ලබාගෙන මෝටර් රථ අංශයේ පෙරමුණේ පසුවෙයි.

යතුර පැදි තරග වලදී ෂෙහාන් සී. අධිකාරි (ලකුණු 60) ගයාන්ට පසුපසින් සිටින අතර ලකුණු 41 ක් ලබා සිටින අරවින්ද පේ‍්‍රමදාස මෝටර් රථ තරග වලදී අශාන් සිල්වාට පසුපසින් සිටී.

මින්නේරියේදී පැවති ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේදී අශාන් සිල්වා ආර්ථකවූ අතර අරවින්ද පේ‍්‍රමදාස එහි දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස සම්මාන ලැබීය. කෙසේ වෙතත් ගජබා ධාවන පථට අරවින්දගේ පි‍්‍රයතම ධාවන පථයක් වන අතර පසුගිය වසරේ ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේද දක්ෂතම රියදුරා බවට පත්වූයේ අරවින්ද පේ‍්‍රමදාසයි.

අශාන් සහ අරවින්ද අතර පවතින පරතරය ලකුණු 9 ක් පමණි. ඒ අනුව අශාන්ට මේ වසරේ ස්ලාඩා - සියැට් ශූරතාව දිනාගැනීමට නම් අනිවාර්යෙන්ම මෙම තරගාවලියේදී අරවින්දට වඩා වැඩි දස්කම් දැක්වීමට සිදුවනු ඇත.

මොවුන් දෙදෙනාට අමතරව ජනක ඩයස්, දිනේෂ් දෙහෙරගොඩ, පසිඳු පීරිස්, කපිල නිශාන්ත, ඩිලාන් සෙනෙවිරත්න, කමල් ප‍්‍රසන්න, ගාමිණි නෙල්සන් සහ උපුල්වන් සේරසිංහ වැනි ප‍්‍රධාන පෙලේ රියැදුරන්ද මේ වන විට තරගාවලය සඳහා තම සහභාගීත්වය තහවුරුකර තිබේ.

මෙතෙක් පැවති තරගාවලි 4 න් 3 කම දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්ව සිටින ගයාන් සඳරුවන්ට මෙම තරගාවලියේදී තම ස්ථානය රැකගැනීම සඳහා ඉතා සුපරික්ෂාකාරී අන්දමින් තරග කිරීමට සිදුවනු ඇත. ඔහු මෙවර තරගාවලියට එක් වන්නේ  පුහුණුවීම් අතරතුර සිදුවූ අනතුරක් හේතුවෙන් වම් අතේ වැලමිට ආසන්නයේ අස්ථි බිඳීමකට ප‍්‍රතිකාරද ලබමිනි. 

මෙම තරගාවලියේදී පරාජය වුවහොත් ගයාන්ට මේ වසරේ ස්ලාඩා - සියැට් ශූරතාව අහිමිවීමද ඉඩ කඩ තිබේ. ශූරතාව දිනාගැනීමට නම් ගයාන්, අවම වශයෙන් ඔහු සහභාගීවන තරග දෙකේදී තුන්වැනි ස්ථාන දෙකක්වත් ලබාගත යුතුය.

මෙහිදී ගයාන්ට සිය ප‍්‍රබලම ප‍්‍රතිවාදියා වන ෂෙහාන් සී. අධිකාරිගෙන් එල්වන අභියෝගයට අමතරව, පසුගිය වසරේ ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනූ ඉන්දීය කී‍්‍රඩක සී. එස්. සන්තෝෂ්ගෙන්ද දැවැන්ත අභියෝගයක් එල්ලවනු නොඅනුමානය.

කෙසේ වෙතත් ගයාන් පවසා සිටියේ මෙම සතිය මුලදී ඔහුගේ අතේ තිබූ පැලැස්තර ඉවත්කළ බවත්, භෞත චිකිත්සක අභ්‍යාස වල නිරතවීමෙන් අනතුරුව මේ වන විට ඔහු පුහුණුවීම් අරම්භකර තිබෙන බවත්ය.

”මගේ අරමුණ කොහොම හරි මේ තරගාවලියට සහභාගී වෙලා වසරේ ශූරතාව දිනාගන්නයි” යයිද සඳරුවන් පැවසීය.

ඉෂාන් දසනායක, සමීර පේ‍්‍රමරත්න, රුමීෂ බුල්ජන්ස්, ලහිරු ජීවන්ත, දේශාන් සෝලංකි සහ මිතුන් ජයසංක සිගේරාද ප‍්‍රධානතම යතුර පැදි ඉසව්වේ සිටින සෙසු තරග කරුවෝ වෙති.

 


අදහස් (0)

අරවින්ද යළිත් සුපුරුදු ධාවන පථයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.