Last Update  :  2024-11-24 17:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports සභාපති කාසියේ වාසියෙන්

සභාපති කාසියේ වාසියෙන්

ශනුක අරවින්ද - 2015 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ, ටොරින්ටන් පෙදෙස කී‍්‍රඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධූරය සඳහා අවින්ද්‍ර මිරැන්ඩෝ මහතා තේරී පත්විය.

සභාපති ධූරය සඳහා පැවැති ඡන්දයේදී අවින්ද්‍ර මිරැන්ඩෝ මහතා සහ ඔහුගේ ප‍්‍රතිවාදියා වූ ඉන්දු සමරකෝන් මහතා ඡන්ද 19 බැගින් සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීම නිසා සභාපතිවරයා තෝරාගැනීම සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයක් උද්ගත විය.

කී‍්‍රඩා සංගම් නිලවරණ සම්බන්ධයෙන් පනවා ඇති කී‍්‍රඩා අමාත්‍යංශයේ නීති රෙගුලාසිවලට අනුව එලෙස ඡන්ද සමාන වූ අවස්ථාවක කාසියේ වාසිය උරගා බැලිය යුතුව ඇති බැවින් කාසියේ වාසිය බැලීමෙන් සභාපතිවරයා පත්කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශ නිලධාරීහු කටයුතු කළහ.

කාසියේ වාසිය ජයගත් අවින්ද්‍ර මිරැන්ඩෝ මහතා සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පත්වූ අතර එම පත්වීමට විරෝධය දැක්වීමට ඉන්දු සමරකෝන් මහතාගේ පාර්ශ්වය උත්සාහ කළද, නිලවරණයට සහභාගී වීම සඳහා ඉන්දු සමරකෝන් මහතා පැමිණ නොසිටීම හේතුවෙන් එම උත්සහය ව්‍යර්ථ විය.

කාසියේ වාසිය උරගා බැලීම මගින් ජාතික කී‍්‍රඩා සම්මේලනයක සභාපතිවරයකු පත්වූ දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය කී‍්‍රඩා සම්මේලන නිලවරණ ඉතිහාසයට එක්විය. අවින්ද්‍ර මිරැන්ඩෝ මහතා ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය නියෝජනය කරමින් සභාපති ධූරය සඳහා ඉදිරිපත් වී සිටි අතර ඉන්දු සමරකෝන් මහතා ශ්‍රී ලංකා මෝටර් රේසිං සංගමය නියෝජනය කරමින් ඒ සඳහා ඉදිරිපත් වී සිටියේය.

කෙසේ වෙතත් ඉකුත්දා පැවැති ශ්‍රී ලංකා පාපැදි සම්මේලන නිලවරණයේදීත් සභාපති තනතුර සඳහා පැවැති ඡන්ද විමසීමේදී මෙවැනි අවස්ථාවක් වාර්තා විය.

එහිදී සභාපති ධූරය සඳහා ඉදිරිපත් වී සිටි වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සහ කපිතාන් චන්දන රත්නායක මහතා සමාන ඡන්ද ලබාගත් අතර එම අවස්ථාවේ මුලසුන හෙබවූ සම්මේලනයේ හිටපු ලේකම් ගෘප් කපිතාන් සංජීවන් සේනාරත්න මහතාගේ තීරක ඡන්දය මත වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සභාපතිවරයා ලෙස තේරී පත්විය.

යතුරුපැදි සම්මේනයේ ලේකම් ධූරය සඳහා ඉදිරිපත් වී සිටි සුමේධ දර්ශන මහතා, පෞද්ගලික හේතුවක් මත විදේශ ගතවීම නිසා සිය නාමයෝජනාව ඉල්ලා අස්කරගැනීම සඳහා ලිපියක් යොමුකර තිබිණ. ඒ අනුව ලේකම් ධූරය සඳහා ඉදිරිපත් වී සිටි අනෙක් අපේක්ෂකයා වූ පසිඳු පීරිස් මහතා නිතරඟයෙන් එම ධූරයට පත්විය.

වැඩි ඡන්ද 4 කින් රිස්වි ෆාරුක් (ඡන්ද 17) මහතා පරාජය කළ සෙනරත් පෙරේරා මහතා (ඡන්ද 21) භාණ්ඩාගාරික ධූරය සඳහා තේරී පත්වූ අතර ඉමේෂ් පත්බේරිය සහ චාමික පිලපිටිය යන මහත්වරු සම්මේලනයේ උප සභාපති ධූර සඳහා නිතරඟයෙන් පත්වූහ.

ඉන්දු සමරකෝන්, පසිඳු පීරිස් සහ රිස්වි ෆාරුක් යන අපේක්ෂකයන් තිදෙනාම ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා සංගමයේ සාමාජිකයන් වන අතර එම සංගමයේ රියැදුරු බලපත‍්‍ර ඇතිව වර්තමානයේ පැවැත්වෙන තරග වලට සහභාගී වන බවත්, 1873 අංක 25 දරණ කී‍්‍රඩා පනතේ 15 (උ) වගන්තිය යටතේ එය වරදක් වන බවත් කියමින් ඔවුන්ගේ නාමයෝජනා වලට විරෝධතා ඉදිරිපත් විය.

එසේ වුවත් එම විරෝධතා නොසලකා හරිමින් ඔවුන්ට නිලවරණය සඳහා ඉදිරිපත්වීමට කී‍්‍රඩා අමාත්‍යංශය අවසර දී තිබිණ. විරෝධතා ඉදිරිපත් කළ පාර්ශ්වය ඒ සම්බන්ධයෙන් අසා සිටි අවස්ථාවක කී‍්‍රඩා අමාත්‍යංශ නිලධාරීන් කියා ඇත්තේ විරෝධතා එල්ල වූ අපේක්ෂකයන් නිලවරණයේදී තනතුරු වලට පත්වුවහොත් පමණක් එම විරෝධතා විභාග කරන බවයි.

යතුරුපැදි කී‍්‍රඩා සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය

  • සභාපති - අවින්ද්‍ර මිරැන්ඩෝ මහතා
  • ලේකම් - පසිඳු පීරිස් මහතා
  • උප සභාපතිවරු (2) - ඉමේෂ් පත්බේරිය මහතා, චාමික පිලපිටිය මහතා
  • භාණ්ඩාගාරික - සෙනරත් පෙරේරා මහතා

 


අදහස් (0)

සභාපති කාසියේ වාසියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.