Last Update  :  2025-04-07 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports සෙබස්තියන් දෙවැනි අදියර ජයගනී

සෙබස්තියන් දෙවැනි අදියර ජයගනී

ශනුක අරවින්ද - 2016 ජන මස 05 1409 Views 0 Comment
A A A

තිස් අට වැනි ඩකාර් රැළියේ දෙවැනි අදියර ජය ගැනීමට 9 වරක් ලෝක රැළි ශූරතාව දිනා සිටින සෙබස්තියන් ලොබ් ඊයේ (4 වැනිදා) සමත් විය. ආජන්ටිනාවේ ටෙර්මාස් දි රියෝ හොන්ඩෝ සහ විලා කාර්ලෝස් පස් යන නගර දෙක අතර කිලෝ මීටර් 387 ක් ආවරණය වන පරිදි මෙහි දෙවැනි අදියර පැවැත්විණ.

අකුණු කුණාටුවක් සහ දැඩි වර්ෂාව නිසා කිලෝ මීටර් 133 කින් කෙටි කරන ලද දෙවැනි අදියර නිමා කිරීමට සඳහා ප‍්‍රංශ ජාතික සෙබස්තියන් ලොබ්ට පැය 3 යි විනාඩි 45 යි තත්ත්පර 46 ක කාලයක් ගතවිය. ලොබ් මේ වන විට 41 වැනි වියේ පසුවේ.

මින් පෙර කිහිප වරක්ම ඩකාර් රැළිය ජය ගෙන ඇති 50 හැවිරිදි ප‍්‍රංශ ජාතික සටීවන් පීටරන්සල්, පැය 3 යි විනාඩි 48 යි තත්ත්පර 16 ක කාලයකින් දෙවැනි අදියර නිමා කරමින් එහි දෙවැනි ස්ථානයට පත් විය.

ටොයොටා වර්ගයේ මෝටර් රථයක් පැදවූ රුසියානු ජාතික ව්ලැඩිමිර් වසිල්යෙව් තෙවැනි ස්ථානයට පත් වූ අතර ඉකුත් වසරේ පැවැති ඩකාර් රැළිය ජයගත් කටාර් ජාතික නසර් අල් අතියා, මිනි මෝටර් රථයක් පදවමින් සිව්වැනියා ලෙස දෙවැනි අදියර අවසන් කළේය.

ඊයේ දිනයේදී පැවැති දෙවැනි අදියරේ යතුරුපැදි ශූරතාව දිනාගැනීමට කේ. ටී. එම්. වර්ගයේ යතුරුපැදියක් භාවිතා කළ 28 හැවිරිදි  ඕස්ටේ‍්‍රලියානු ජාතික ටොබි ප‍්‍රයිස් සමත් විය.

කිලෝ මීටර් 354 කින් සමන්විත වූ දෙවැනි අදියර ජය ගැනීමට ඔහු සමත් වූයේ පෘතුගාලයේ රුබෙන් ෆෙරියාට වඩා තත්ත්පර 20 කළින් තරගය අවසන් කරමිනි. ටොබි ප‍්‍රයිස්ට වඩා විනාඩි 1 යි තත්ත්පර 28 කට පසු තරගය අවසන් කළ ස්ලෝවැකියාවේ ස්ටෙෆාන් ස්විට්කෝ යතුරුපැදි අංශයේ තෙැවැනි ස්ථානයට පත් විය.

අකුණු සහිත කාලගුණය සහ දැඩි වර්ෂාව හේතුවෙන් දෙවැනි අදියරේදී මෝටර් රථ රියැදුරන්ට ගමන් කිරීමට නියමිතව තිබූ මුලූ දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 520 ක් වුවත් එය කිලෝ මීටර් 387 කට සීමා වූ අතර යතුරුපැදිකරුවන්ට ගමන් කිරීමට නියමිතව තිබූ මුලූ දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 450 ක් වුවත් එය කිලෝ මීටර් 354 කට සීමා විය.

-036

 


අදහස් (0)

සෙබස්තියන් දෙවැනි අදියර ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.